Monday, January 19, 2026
Follow Us
දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු වන ලකුණු - ලංගමයෙන් අතිරේක බස් රථ

දුම්රිය කාර්ය මණ්ඩලය සදහා කොරෝනා මර්දන එන්නත අද දිනයේදී ලබාදීම හේතුවෙන් දුම්රිය වාර කිහිපයක් අවලංගු විය හැකි බව දුම්රිය වෘත්තීය සමිති පවසනවා. මෙය වෘත්තීය ක්‍රියාමාර්ගයක් නොවන බවයි ඔවුන් සදහන් කළේ.

පිට පළාත්වල සිට කොළඹ කොටුවට දුම්රිය ගමන් වාර 6 ක් අද දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති අතර ඉන් ගමන්වාර කිහිපයක්ද සීමා වනු ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

දුම්රිය මගීන්ගේ අපහසුතා අවම කිරීම සදහා අතිරේක ලංගම බස්රථ ධාවනයට එක් කර ඇති බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම නෙත් නිවුස් වෙත ප්‍රකාශ කළේ.

මේ අතර ලංගම බස්රථද අද අලුයම සිට පළාත් තුළ ධාවන කටයුතු ආරම්භ කළා. කෙසේවෙතත් පළාත් අතර ලංගම බස් ධාවනය සීමිත වශයෙන් ක්‍රියාත්මක බවයි ලංකා ගමනා ගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී -ධාවන, පණ්ඩුක ස්වර්ණහංස නෙත් නිවුස් වෙත ප්‍රකාශ කළේ.

(Neth)