- අත්‍යවශ්‍ය සේවාවලට සහ භාණ්ඩ ප්‍රවාහනයට අවසර
- බස්නාහිර එන්නත්කරණය දිගටම
- නිවෙස්වලම රැඳී සිටින්නැයි උපදෙස්
- 17 සිට 31 තෙක් රාත්‍රි 11 සිට අලුයම 4 තෙක් සංචරණ සීමා අඛණ්ඩව
කොවිඩ් 19 වයිරසයේ ව්‍යාප්තිය වැළැක්වීමේ පියවරක් වශයෙන් අද (13) රාත්‍රි 11. 00 සිට ක්‍රියාත්මක වන පරිදි රට පුරා සියලු සංචරණයන් තහනම් කිරීමට ආණ්ඩුව තීරණය කරයි.
ඒ අනුව මේ සංචරණ සීමාවන් එළඹෙන 17දා අලුයම 4.00 තෙක් ක්‍රියාත්මක වන අතර, සංචරණ සීමාවන් ක්‍රියාත්මක වුවද අත්‍යවශ්‍ය සේවා සහ එළවළු, පලතුරු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය සඳහා අවසර හිමි වන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.
කෙසේ වුවද ඊයේ (12) රාත්‍රී 11.00 සිට මේ මස 31 වනදා දක්වා සෑම දිනකම රාත්‍රී 11.00 සිට පසුදා අලුයම 4.00 දක්වා රටපුරා සංචරණ සීමා පැනවීමට ද කටයුතු කර තිබේ.
එම කාලය තුළ සියලු පුද්ගලයන් නිවෙස්වල හෝ ඔවුන් සිටින ස්ථානයේ රැඳී සිටින ලෙස දැනුම් දෙන යුද හමුදාපතිවරයා බස්නාහිර පළාත තුළ සැලසුම් කළ පරිදි එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙන අතර, එම එන්නත්කරණ වැඩසටහන වෙනුවෙන් සහභාගි වන පුද්ගලයන්ට ඒ සඳහා අවසර හිමි වන බවද කියා සිටී.
කොවිඩ් 19 වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පසුගිය (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අන්තර් පළාත් සංචරණ සීමා පැනවීමට රජය තීරණය කළ අතර, එම කාලයේදී එක් පළාතකින් තවත් පළාතකට ඇතුළු වීමට අවසර නොලැබෙන නමුත් අත්‍යවශ්‍ය සේවා කටයුතු පවත්වාගෙන යෑමට හැකියාව ලැබේ. ඒ අනුව සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ කටයුතු, ජලය, විදුලිය, වරාය, ගුවන් තොටුපොළ, සන්නිවේදන, මාධ්‍ය, අධිකරණ හා නීති, වාණිජ හා මූල්‍ය සේවාවන් ඒ ආකාරයටම පළාත් මායිම් හරහා පරීක්ෂා කිරීමකින් පසුව පැමිණීමේ හැකියාව හිමි වේ.
මේ සංචරණ සීමා පනවා තිබෙන කාලයේදී ශ්‍රී ලංකා පොලිසිය විසින් අදාළ නිර්නායක ක්‍රියාත්මක කරන අතර, පළාත් සංචරණ සීමාවන් ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකායද යොදවා තිබේ. මේ අතර පැතිර යන කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම සඳහා දිවයිනේ තවත් දිස්ත්‍රික්ක 6ක ග්‍රාම නිලධාරි වසම් 14ක් ඊයේ (12) උදෑසන 6 සිට නැවත දැනුම් දෙන තුරු හුදෙකලා කළ බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
එසේම, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරි වසම් 3ක් හුදෙකලාභාවයෙන් ඉවත් කිරීමටද පියවර ගෙන තිබෙන අතර කොවිඩ් -19 වයිරස ව්‍යාප්තිය හේතුවෙන් මේ වන විට මෙරට තුළ ග්‍රාම නිලධාරි කොට්ඨාස රැසක් හුදෙකලා කර තිබේ. දිස්ත්‍රික්ක 14කට අයත් ග්‍රාම නිලධාරි වසම් 100කට අධික ප්‍රමාණයක් මේ වන විට හුදෙකලා කර ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
පැන වූ නව සංචරණ සීමා ක්‍රියාත්මක නොවන දිනයන්හි අත්‍යවශ්‍ය සේවා ගැනීමට නිවෙසින් පිටව යෑමට ජාතික හැඳුනුම් පතේ අවසන් අංකය මත පදනම්ව අවස්ථාව දීමට සෞඛ්‍ය අංශ යළිත් වරක් පියවර ගෙන තිබේ.
ඒ අනුව ජාතික හැඳුනුම් පත් අංකය ඔත්තේ ඉලක්කමකින් එනම් 1, 3, 5, 7 සහ 9 යන ඉලක්කම්වලින් අවසන් වන පුද්ගලයන්ට ඔත්තේ දිනයන්වල නිවෙසින් බැහැර වීමට අවසර හිමි වේ. (උදාහරණයක් ලෙස අද (13) එම පුද්ගලයන්ට බැහැරට යා හැක)
එමෙන්ම 0 ද ඇතුළත්ව 2, 4, 6, 8 ඉලක්කම්වලින් ජාතික හැඳුනුම් පතේ ඉලක්කම් අවසන් වන පුද්ගලයන්ට ඉරට්ටේ දිනවල නිවෙසින් බැහැරට යෑමට අවසර හිමි වේ. (උදාහරණයක් ලෙස හෙට (14) එම පුද්ගලයන්ට බැහැරට යා හැක)
(Dinamina)