Monday, January 19, 2026
Follow Us
නිරෝධායන සහ අතරමැදි මධ්‍යස්ථානත් අද සිට කොරෝනා රෝහල් වෙයි

කොරෝනා ආසාදිතයින් රඳවා තැබෙන අතරමැදි මධ්‍යස්ථානවල කොරෝනා ප්‍රතිකාර කටයුතු අද සිට ආරම්භ කෙරෙණවා. යුද හමුදාව මගින් පාලනය වූ නිරෝධායන මධ්‍යස්ථාන කිහිපයක්ද කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කරන රෝහල් ලෙස මෙලෙස යොදා ගෙන ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන පැවසුවේ.

කෙසේවෙතත්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැවසුවේ ඇතැම් ප්‍රදේශවල රෝහල්වල ඉඩ පහසුකම් නොමැතිවිම හේතුවෙන් ආසාදිතයින් ලෙස හදුනා ගැනෙන පුද්ගලයින් රෝහල්වෙත යොමුකරන තෙක් දින දෙකක පමණ කාලයක් නිවසේ රඳවා සිටීමට සිදුව ඇති බවයි. කුරුණෑගල, ගම්පහ සහ කොළඹ යන දිස්ත්‍රික්කවල මෙම තත්ත්වය වැඩි වශයෙන් දක්නට ලැබෙන බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය නෙත් නිවුස් වෙත පැවසුවේ.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් නෙත් නිවුස් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධනගෙන් ද විමසීමක් කළා. ඔහු කියා සිටියේ ඉකුත් දින 10 ක පමණ කාලය තුල දිගින් දිගමට ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන් රෝහල්වල දැඩි තදබදයක් මතුවූ බවයි.

කොරෝනා ආසාදනය වූ පුද්ගලයෙකු ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ රදවාගෙන දින 10ක කාලයක් ප්‍රතිකාර සිදු කරනවා. මීට දින 10 කට පෙර පැමිණි ආසාදිතයින් ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව යාම සිදුවන්නේ මේ දිනවල බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා. ඒ අනුව රෝහල්තුල පවතින තදබදය ඉදිරි දෙක, තුන තුළදී අඩුවනු ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන පැවසුවේ.

මේ අතර මේ වන විට දැඩි සත්කාර ඒකකවල ඇදන් 49ක රෝගීන් ප්‍රතිකාර ලබනවා. ඉදිරියේදී කොතලාවල ආරක්ෂක විද්‍යා පීඪයේ රෝහල වෙතද ආසාද්‍යවන කොරෝනා ආසාදිතයින් යොමු කිරීමට පියවර ගන්නා බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේ.

(Neth)