Sunday, January 18, 2026
Follow Us
රාජ්‍ය සේවකයන් කාර්යාලවලට කැඳවන ආකාරය ගැන ලබන සතියේ තීරණයක්

පවතින කොරෝනා ව්‍යාප්තිය හමුවේ රාජ්‍ය සේවකයන් කාර්යාලවලට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ලබන සතියේ සාකච්ඡා කර තීරණයක් ගන්නා බව රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. රට තුළ පවතින කොරෝනා තත්ත්වය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ලබන මැයි මස 31 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කළා.

එහි දැක්වුණේ රාජ්‍ය සේවයේ අවශ්‍ය අවම කාර්ය මණ්ඩල සංඛ්‍යාව සමග රාජකාරී කිරීමට අවසර හිමි වන බවයි. එමෙන්ම සෑම විටම නිවසේ සිට රාජකාරී සිදුකිරීමට විකල්පයක් ලබාදිය යුතු බවද එම මාර්ගෝපදේශ මාලාවේ ඇතුළත්ව තිබුණා.

එම මාර්ගෝපදේශමාලාවට අනුව රාජ්‍ය සේවකයන් කාර්යාලවලට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් නෙත් නිවුස් රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ ජේ රත්නසිරිගෙන් විමසීමක් කළා. ලේකම්වරයා සදහන් කළේ ඒ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා සමග සාකච්ඡා කර ඉදිරියේදී අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍ෂේත්‍ර 48 ක් සදහා මාර්ගෝපදේශ මාලාව ඊයේ නිකුත් කළා. ඊට අනුව කටයුතු කරන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක් කරන බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛi සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කළා.

මෙරටින් කොරෝනා ආසාදිත පළමු රෝගියා වාර්තාවීමත් සමග සෞඛ්‍ය අමාත්‍යාංශය අවධානයෙන් සිටි බවයි රාජ්‍ය අමාත්‍යවරිය සදහන් කළේ.

(Neth)