රටේ සිටින පවුල් ලක්ෂ 55 න් අඩක්ම තවමත් උදව් අවශ්‍ය තත්වයක සිටින බවත්, ඔවුන්ට හාල්, සීනි නොමිලේ ලබාදුන් පමණින්, සමෘද්ධිය ලබාදුන් පමණින් ඔවුන්ගේ දුප්පත්කම නැති කිරීමට නොහැකි බවත් විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පෙන්වා දෙනවා. ඔවුන් පොහොසතුන් කිරීම සඳහා වෙනසක් ඇතිකළ යුතු බවත් ජනතාවගේ ආකල්ප වෙනස් කළයුතු බවත් ඇමතිවරයා පවසනවා.
අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, ඊයේ (17) පස්වරුවේ වෝටර්ස් එජ් හෝටලයේ සංවිධානය කර තිබූ ලංකා විදුලි පුද්ගලික සමාගම විසින් මෘදුකාංගයක් හඳුන්වා දීමේ වැඩසටහනට සහභාගි වෙමිනි. ලංකා විදුලි පුද්ගලික සමාගමේ විදුලි පාරිභෝගික ජනතාව වෙනුවෙන් හදුන්වා දුන් My leco මෘදුකාංගය මගින් බිල්පත් ගෙවීම්, කලින් ගෙවන ලද බිල්පත් පරීක්ෂා කිරීම, පැමිණිළි ඉදිරිපත් කිරීම, ඉල්ලීම් ඉදිරිපත් කිරීම, දෛනික විදුලි ගැටළු විසඳා ගැනීම ආදී සේවාවන් රාශියක් ලබාගැනීමේ හැකියාව හිමිකර දී තිබේ.
සමෘද්ධියට රුපියල් කෝටි 4,600 වෙන් කරන විට ලංවිම හා ලෙකෝ ආයතනය හරහා සාමාන්‍ය ජනතාවට ලබාදෙන විදුලිය වෙනුවෙන් රුපියල් කෝටි 3,900 සහනාධාර ලබා දී ඇති බවත්, සමෘද්ධිය ගැන කතා කරන බොහෝ දෙනා විදුලි සහනාධාර පිළිබඳව කතා නොකරන බවයි අමාත්‍යවරයා පවසන්නේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා,
'අපට අලුතෙන් හිතන්න පුළුවන් නව තාක්ෂණය යොදාගන්න පුළුවන් වුණානම්, අපේ ආයතන ඉබි ගමනින් යන ගමන වඩාත් ශක්තිමත්ව, සාර්ථකව, අර්ථවත්ව, පාරිභෝගිකයා මුල්කරගනිමින් කටයුතු කරන්න පුලුවන් වේවි. ඒ නිසා තමයි අපි CEB Care මෘදුකාංගය හදුන්වා දුන්නේ. ඒ තුළින් පාරිභෝගිකයාට යම් වාසියක් ලබාගන්න අවස්ථාව උදාකරලා දුන්නා. ඒ වගේම අද හදුන්වා දෙන මේ My leco මෘදුකාංගය තුළින්ද විදුලි පාරිභෝගික ජනතාවට තම දැනුම වර්ධනය කරගනිමින් අවශ්‍යතා ඉටුකරන්න වැඩපිළිවෙලක් හදුන්වා දී තිබෙනවා. 1983 දී ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් තරගකාරිත්වයක් තුළින් පාරිභෝගිකයාට වඩා හොද සේවයක් සහ කළමණාකරණයක් ඇතිවෙයි කියන විශ්වසයෙන් තමයි මේ ලෙකෝ ආයතනය බිහිවුණේ. එතුමාගේ මනා ඉදිරි ඉදිරි දැක්ම තුළින් අනාගතයේදී ලංකාව ලෝකයට සම්බන්ධ කරන්නේ කෙසේද යන සංකල්පය තුළීන් තමයි අද ලංකාව මේ තත්ත්වයටවත් ඉදිරියට විත් තිබෙන්නේ.'
'අපි වෙනස් වෙන්න අවශ්‍යයි. පාරිභෝගිකයා මුල්කරගෙන වැඩකරන යුගයක් ඇතිකළ යුතුයි. අද බොහෝ ආයතන කඩාවැටී තිබෙන්නේ තැනේ හැටියට වැඩකරන්නේ නැති නිසයි. අපි නිරන්තරයෙන් පාරිභෝගිකයා මුල්කරගෙන කටයුතු කළ යුත්තේ, පාරිභෝගිකයා නොමැතිනම් අපේ පැවැත්මක් නොමැති නිසයි. ඒ නිසා ඒකාධිකාරය පසෙකලා, පාරිභොගිකයා මුල්කරගත් ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුයි.'
'එදා දරවලින් තමයි අපි විදුලිය නිෂ්පාදනය කළේ. පසුව ජලවිදුලිය. ඊට පස්සේ තෙල්, එල්.එන්.ජී., ගල් අගුරු. සූර්ය බලය, සුළං මේ ආදි විවිධ ප්රභේදයන්ට මාරු වුණා. අවම මිලට ජනනය කරන්න අවශ්‍යයනම්. අපි අළුතින් සිතිය යුතුයි. එදා දර වලින් නිෂ්පාදනය කළා කියලා. අදත් ඒකෙන්ම නිෂ්පාදනය කරන්න බලාගෙන හිටියොත්,අපිට පාරිභෝගිකයාට සහනදායි, සාර්ථක ඉදිරි ගමනක් නැතිවෙනවා. ලංකා විදුලිබල මණ්ඩලයත් අවම මිලට විදුලිය ජනනය කිරීමට අවශ්‍යනම්, අළුතින් හිතන්න ඕන. නැතිනම් ආයතනය මූල්‍ය බර තුළින් කඩා වැටෙන්න පුළුවන්. නවීකරණය තුළින් අද ලෝකය පරිවර්ථනයකට භාජනය වෙලා. අපිත් ඒ ආකාරයෙන් පරිවර්ථනය විය යුතුයි. තාක්ෂණයේ දියුණුවත් සමගින් සංකීර්ණ පුළුල් පරාසයක් අද සරලත්වයට පත් වෙලා. අද දේශපාලඥයෝ ළිදේ ඉන්න ගෙම්බෝ වගේ. ඉදිරියක් පෙනෙන්නේ නැහැ. වෙනස්වන කෙනාට චෝදනා කරනවා දූෂිත වැඩ කරනවා කියලා. කොහොමද අපි මේක වෙනස් කරන්නේ.'
(LNW)