Friday, July 31, 2026
Follow Us
2027 දී “ජාතික හස්ත කර්මාන්ත අධිකාරිය” නමින් නව ආයතනයක් පිහිටුවීමට සැලසුම්

පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව, ජාතික ශිල්ප සභාව, ජාතික සැලසුම් මධ්‍යස්ථානය (National Design Centre) සහ ලක්සල ඒකාබද්ධ කර 2027 වන විට “ජාතික හස්ත කර්මාන්ත අධිකාරිය” නමින් නව ආයතනයක් පිහිටුවීමට සැලසුම් කර ඇති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (COPA) අනාවරණය විය.

මෙම හරහා සාම්ප්‍රදායික පේෂ කර්මාන්තය නවීන Fashion, Design සහ තාක්ෂණික ක්ෂේත්‍ර සමඟ ඒකාබද්ධ කරමින් ජාත්‍යන්තර වෙළඳපොළ ඉලක්ක කරගත් තරඟකාරී කර්මාන්තයක් ලෙස සංවර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ.

2021–2023 වර්ෂයන්ට අදාළ විගණකාධිපතිගේ ත්‍රෛවාර්ෂික වාර්තාව, 2024 වර්ෂයට අදාළ විගණකාධිපති වාර්තාව සහ පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුවේ වර්තමාන කාර්යසාධනය පදනම් කරගනිමින් එහි ප්‍රගතිය, අභියෝග සහ යෝජිත ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණේ එම රැස්වීම පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැති අවස්ථාවේදීය.

පේෂකර්ම ක්ෂේත්‍රය සංස්කෘතික උරුමයක් ලෙස පමණක් නොව, නවීන නිර්මාණකරණය, තාක්ෂණය සහ වෙළඳපොළ අවශ්‍යතා සමඟ සම්බන්ධ වූ ආර්ථික ක්ෂේත්‍රයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බව කාරක සභාවේදී අනාවරණය විය.

එමෙන්ම ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනය (SLITA) හරහා උසස් අධ්‍යාපන හා තාක්ෂණික පුහුණු අවස්ථා පුළුල් කරමින් තරුණ පරපුර මෙම ක්ෂේත්‍රයට ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂා කරන බව නිලධාරීහු පැවසූහ.

දෙපාර්තමේන්තුවේ මානව සම්පත් හිඟය, අභ්‍යන්තර විගණන නිලධාරීන් සහ ගණකාධිකාරීවරුන්ගේ පුරප්පාඩු, පළාත් මට්ටමින් පේෂකර්ම උපදේශකවරුන් බඳවා ගැනීම නතර වී තිබීම සහ ඒ හේතුවෙන් පුහුණු වැඩසටහන්වලට එල්ල වී ඇති බලපෑම් පිළිබඳව ද කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි.

2021 සිට 2025 දක්වා කාලය තුළ පුහුණු පාඨමාලා සඳහා සිසුන් 720 දෙනෙකු ඇතුළත් වී ඇති අතර, ඉන් 456 දෙනෙකු පමණක් පාඨමාලා සාර්ථකව අවසන් කර ඇති බව අනාවරණය විය. ඒ අනුව පාඨමාලා අතරමග හැරයාමේ ප්‍රතිශතය 40% ඉක්මවා ඇති බවත්, ඇතැම් අවස්ථාවල එක් ශිෂ්‍යයෙකු වෙනුවෙන් රජය රුපියල් ලක්ෂ 7 සිට ලක්ෂ 11 දක්වා මුදලක් වැය කර ඇති බවත් මෙහිදී හෙළිදරව් විය.

තවද, කොවිඩ් සමයේ මිලදී ගත් පේෂකර්ම යන්ත්‍ර භාවිතයට නොගෙන පැවතීම, කටුබැද්ද පුහුණු මධ්‍යස්ථානයේ පහසුකම් ප්‍රමාණවත් ලෙස උපයෝගී කර නොගැනීම සහ දෙපාර්තමේන්තුව සතු සංචාරක නිවාස ආදායම් උත්පාදන කටයුතු සඳහා ප්‍රමාණවත් ලෙස යොදා නොගැනීම සම්බන්ධයෙන්ද කාරක සභාවේදී කරුණු විමසා බැලිනි.

කාරක සභාව අවධාරණය කළේ පේෂ කර්මාන්තය සංස්කෘතික උරුමය ආරක්ෂා කරගනිමින් නවීන තාක්ෂණය, නිර්මාණකරණය සහ ජාත්‍යන්තර වෙළඳපොළ සමඟ බද්ධ වූ තරඟකාරී කර්මාන්තයක් බවට පත් කළ යුතු බවයි. ඒ සඳහා රාජ්‍ය සම්පත් කාර්යක්ෂමව භාවිත කරමින් යෝජිත ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ නියමිත කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවද අවධාරණය කෙරිණි.

මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හෙක්ටර් අප්පුහාමි, රුවන්තිලක ජයකොඩි, ලාල් ප්‍රේමනාත්, නීතිඥ තුෂාරි ජයසිංහ, ටී.කේ. ජයසුන්දර, අජන්ත ගම්මැද්දෙගේ, චන්දන සූරියආරච්චි සහ සුනිල් රත්නසිරි යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.