Friday, July 31, 2026
Follow Us
රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ උතුරු කලාප ලේඛනාගාරය විවෘත කෙරේ
වසර 30කට අධික කාලයක් පැවති යුද්ධය හේතුවෙන් උතුරු පළාතේ ජනතාවට රාජ්ය සේවා ලබා ගැනීමේදී දැඩි දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වූ බවත්, පරිපාලන සේවා විමධ්යගත නොවීම ද එයට බලපා ඇති බවත් අමාත්ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුයේ රෙජිස්ට්රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ උතුරු කලාප ලේඛනාගාරය විවෘත කිරීමේ උත්සව අවස්ථාවට ඊයේ (30) සහභාගී වෙමිනි.
උතුරු පළාත් ජනතාවට මෙතෙක් කල් උප්පැන්න, විවාහ, මරණ සහතික ඇතුළු මූලික ලේඛන ලබා ගැනීමට කොළඹ පිහිටි ප්රධාන ලේඛනාගාරය වෙත පැමිණීමට සිදු වූ අපහසුතාව නිමාවට පත් කරමින්, රෙජිස්ට්රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවට අයත් උතුරු කලාප ලේඛනාගාරය ඊයේ (30) පෙරවරුවේ රාජ්ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා සහ පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්ය අමාත්ය රුවන් සෙනරත් මහතාගේ ප්රධානත්වයෙන් වවුනියාව, කනකරායන්කුලම් ප්රදේශයේ A9 පාර, මන්නකුලම්හිදී විවෘත කර මහජන අයිතියට පත් කරන ලදී.
 
මෙම සමාරම්භක අවස්ථාවේදී, උතුරේ ජනතාව මුහුණ දෙන ප්රධාන පරිපාලන හා දෛනික ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දීමට අවශ්ය කටයුතු විධිමත් කිරීමට අවශ්ය මූලික කරුණු සාකච්ඡා කෙරිණ.
මෙතෙක් කල් සහතික ලබා ගැනීමට කොළඹ මාලිගාවත්ත ලේඛනාගාරය වෙත යාමට සිදු වීමෙන් ජනතාවට දින ගණනාවක්, ගමන් වියදම් හා නවාතැන් සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදු වූ අතර, මෙම නව කලාපීය ලේඛනාගාරය ස්ථාපිත කිරීම හරහා ජනතාවගේ කාලය හා මුදල් ඉතිරි වී ප්රදේශයේ නිෂ්පාදන ක්රියාවලියට සහ ගොවිතැනට සිදු වූ බාධාවන් ද සම්පූර්ණයෙන් ම නිරාකරණය වන බව මෙහිදී අමාත්යවරයා පෙන්වා දුන්නේ ය.
එමෙන්ම, මෙම කාර්යාලය කේන්ද්ර කරගනිමින් මන්නකුලම් ප්රදේශයේ කුඩා නගරයක් නිර්මාණය වී ප්රදේශයේ ජනතාවට නව ව්යාපාරික හා ස්වයං රැකියා අවස්ථා රාශියක් උදාවන බව ද අමාත්යවරයා විසින් මෙහිදී අවධාරණය කරන ලදී.
වසර 30කට අධික කාලයක් පැවැති යුද්ධයට පරිපාලන බලය හා සේවාවන් විමධ්යගත නොවීම ද යම් තාක් දුරට බලපෑ බවත්, මෙවැනි පියවර මීට වසර ගණනාවකට පෙර සිදු කළේ නම් ජනතාවට මුහුණ දීමට සිදු වූ පීඩාවන් අවම කර ගැනීමට තිබූ බවත් පැවසූ අමාත්යවරයා, රජය විසින් උතුරු පළාතේ ජනතාව වෙනුවෙන් ක්රියාත්මක කිරීමට නියමිත ඉදිරි සංවර්ධන සහ සහන සැලසීමේ පියවර කිහිපයක් ද අනාවරණය කළේ ය.
ඒ අනුව, ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි උතුරේ පවතින උග්ර පානීය ජල ගැටලුව විසඳීමට අදාළ මූලික පියවර ගෙන ඇති අතර, යුද්ධය නිසා අහිමි වූ ඉඩම් හිමිකම් නැවත නිරවුල් කර දීමේ විශේෂ වැඩපිළිවෙලක් සහ හානියට පත් නිවාස වෙනුවෙන් අලුතින් නිවාස 13,000ක් ඉදිකිරීමේ ව්යාපෘතියක් ද සාකච්ඡා මට්ටමේ පවතී
තවද, සත්ව පාලනයේ නිරත ගොවීන්ගේ ගවයන් ලියාපදිංචි කිරීමේ නව ක්රමවේදයක් හරහා හිමිකම් තහවුරු කර ගනිමින් රජයේ ණය පහසුකම් ලබා ගැනීමට මඟ පාදා ඇති අතර, පිටරටින් කිරිපිටි හා ආහාර ද්රව්ය ආනයනයට වැයවන ඩොලර් ඉතිරි කර ගනිමින් එම මුදල් දේශීය ගොවියා අතට පත් කිරීමේ සංවර්ධන වැඩසටහනට උතුරේ ගොවීන් සක්රියව දායක කරගන්නා බව ද අමාත්යවරයා වැඩිදුරටත් ප්රකාශ කළේය.
පසුගිය මැතිවරණවලදී උතුරේ ජනතාව රජය කෙරෙහි තැබූ විශ්වාසය අකුරට ම සුරකිමින්, නැවත කිසිදු දිනෙක ජාතිවාදී හෝ ආගම්වාදී ගැටුම් ඇති වීමට ඉඩ නොතබන බවත්, සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවට සහෝදරත්වයෙන් ජීවත් විය හැකි ශ්රී ලාංකීය ජාතියක් ගොඩනඟන බවත් අමාත්යවරයා මෙහිදී අවධාරණය කළේය.
එමෙන්ම, මෙම ලේඛනාගාරයේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා රජයේ ප්රතිපාදන හා පරිගණක ඇතුළු භෞතික සම්පත් ලබාදීමට පියවර ගන්නා අතර ම, සමස්ත රාජ්ය සේවයේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා මේ වසරේ පරිපාලන සේවයට 2,000කට වැඩි පිරිසක් සහ ගුරුවරුන් 30,000ක් බඳවා ගැනීමේ කටයුතු ද දැනටමත් ආරම්භ කර ඇති බව පවසමින් අමාත්යවරයා සිය අදහස් දැක්වීම අවසන් කළේය.