Friday, July 31, 2026
Follow Us
11 වන ජාතික බාලදක්ෂ ජම්බෝරිය 2027 ජනවාරියේදී

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සංවිධානය කරන 11 වන ජාතික බාලදක්ෂ ජම්බෝරියේ සංවිධාන කටයුතු පිළිබඳව සහ එහි ප්‍රගතිය සම්බන්ධ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (30) පස්වරුවේ පැවැත්විණ.

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයට වසර 115ක් සපිරීම නිමිත්තෙන් 11 වන වරටත් සංවිධානය කරන ජාතික බාලදක්ෂ ජම්බෝරිය 2027 වසරේ ජනවාරි මස 17 දින සිට 23 වනදා දක්වා දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණය කේන්ද්‍ර කරගෙන පැවැත්වීමට සැලසුම් කර ඇත.

11 වන බාලදක්ෂ ජම්බෝරිය පැවැත්වීමට අදාළ සංවිධාන කටයුතු සහ එහි වත්මන් ප්‍රගතිය මෙන්ම, රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල සහාය ලබා ගැනීම, එක් එක් ආයතන වෙත පැවරෙන වගකීම් සම්බන්ධවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සභාපති රන්සිරි පෙරේරා, ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කේ. පී. යෝගචන්ද්‍ර, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අමල් එදිරිසූරිය, ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ක්‍රිෂානි සී. විතානගේ, ජනාධිපති සහකාර ලේකම් සහ ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ විශේෂ කොමසාරිස් සමිත් තලකිරියාව‍, හෝමාගම ප්‍රාදේශීය සභාපති කසුන් රත්නායක, බන්ධනාගාර කොමසාරිස් (සැපයුම් සහ සේවා) බී.ඩී.එම්.ජී.බී. දිසානායක යන මහත්ම මහත්මීහු, මුදල්, ක්‍රම සම්පාදන හා ආර්ථික අමාත්‍යාංශය, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතනවල නිලධාරීහු, අනුග්‍රාහක සමාගම්වල නිලධාරීහු, ආරක්ෂක අංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.