Thursday, May 28, 2026
Follow Us
දූපත් ප්‍රදේශවල ජනතාව ගැටලුවලට කඩිනමින් විසඳුම් සෙවීමේ අරමුණින් විශේෂ සාකච්ඡාවක්
නෙඩෙන්තීව්, ඌර්කාවතුරෙයි, කාරයිනගර් සහ වේලනයි ඇතුළු දූපත් ප්රදේශවල පවතින අධ්යාපන, සෞඛ්ය, ප්රවාහන, පානීය ජල හා කෘෂිකාර්මික ගැටලු ඇතුළු ජනතාවගේ අත්යවශ්ය ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදීමට අවශ්ය ක්රියාමාර්ග ගන්නා ලෙස ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්ය රාමලිංගම් චන්ද්රසේකර් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

 

මෙම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් වේලනයි ප්රාදේශීය ලේකම් කාර්යාලයේ දී අමාත්යවරයාගේ ප්රධානත්වයෙන් පැවැත්විණි.
 
මෙම අවස්ථාවට උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගන්, උතුරු පළාත් ප්රධාන ලේකම් තනුජා මුරුගේසන්, යාපනය දිස්ත්රික් ලේකම් එම්. ප්රදීපන්, පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන කරුණනාදන් ඉලංගුමරන් සහ ජයචන්ද්රමූර්ති රජීවන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
 
එමෙන්ම ප්රාදේශීය ලේකම්වරුන්, ප්රාදේශීය සභා නියෝජිතයන්, අදාළ අංශවල නිලධාරීන්, නාවික හමුදාවේ, යුද හමුදාවේ සහ පොලීසියේ නිලධාරීන් ද සහභාගී විය.
 
මෙහි දී දූපත් ප්රදේශවල ගුරු හිඟය, ගුරුවරුන් සඳහා නවාතැන් පහසුකම් නොමැතිවීම සහ ආරක්ෂක ගැටලු පිළිබඳ අමාත්යවරයාගේ අවධානය යොමු විය. විශේෂයෙන් නෙඩෙන්තීව් ප්රදේශයේ පාසල් ගොඩනැගිලි සහ මූලික පහසුකම්වල පවතින අඩුපාඩු පෙන්වා දුන් අමාත්යවරයා, අධ්යාපන ක්ෂේත්රයේ පවතින ගැටලු සඳහා ප්රමුඛතාවය ලබාදී විශේෂ ක්රියාමාර්ග සැලැස්මක් සකස් කළ යුතු බව අවධාරණය කළේය.
 
නෙඩෙන්තීව් ප්රවාහන සේවාව සඳහා භාවිත කරන “නෙදුන්තාරකයි” සහ “වඩතාරකයි” යන මගී ප්රවාහන බෝට්ටු අලුත්වැඩියා කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව ලබන මාසයේ සිට නැවත සේවයට එක් කරන බව නිලධාරීන් සඳහන් කළහ.
 
පානීය ජල ගැටලුවට විසඳුමක් ලෙස නෙඩෙන්තීව් සඳහා නව RO ජල පිරිපහදු පද්ධතියක් ස්ථාපනය කිරීම සඳහා භාණ්ඩාගාරය මඟින් මුදල් ලබාගැනීමට කටයුතු කරන බවද ප්රකාශ කෙරිණි.
 
එමෙන්ම දූපත් ප්රදේශවල වෛද්යවරුන්, හෙදියන් සහ ඖෂධවේදීන්ගේ හිඟයක් පවතින බවත්, හදිසි වෛද්ය සේවා සඳහා ගිලන් රථ අවශ්ය බවත් පෙන්වා දෙන ලදී. අනලතීව් ප්රදේශයට ඉක්මනින් ගිලන් රථයක් ලබාදෙන බව ද නිලධාරීන් සඳහන් කළහ.
 
දූපත් ප්රදේශවල රෝහල් ප්රතිසංස්කරණ කටයුතු ලෝක බැංකු ආධාර යටතේ ක්රියාත්මක වන අතර, යාපනය දිස්ත්රික්කයේ 2500කට අධික වැසිකිළි අවශ්යතාවක් පවතින බවද අනාවරණය විය.
 
ඒ සඳහා ප්රමුඛතාවය ලබාදිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්රධානත්වයෙන් පැවති සාකච්ඡාවක දී ද අවධාරණය කළ බව අමාත්යවරයා පැවසීය.
දිගුකාලීනව සිදුවන ගව සොරකම් මැඩපැවැත්වීම සඳහා පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය එක්ව ක්රියා කළ යුතු බවත්, මණ්ඩතීව් පරීක්ෂණ මුරපොළේ ආරක්ෂාව නාවික හමුදාව සමඟ එක්ව තවදුරටත් ශක්තිමත් කළ යුතු බවත් සඳහන් කෙරිණි.
තව ද අනලතීව්, පුංගුඩතීව් සහ කුරිකඩ්ඩුවන් ප්රදේශවල ලංකා බැංකුවේ ATM යන්ත්ර ස්ථාපනය කිරීමේ අවශ්යතාවද මෙහිදී ඉදිරිපත් වූ අතර, ඒ සඳහා ද කඩිනම් පියවර ගන්නා බවට සහතික විය.
මෙහි දී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්රී ජයචන්ද්රමූර්ති රජීවන් මහතා, “වැඩ කටයුතු සිදු කිරීමේදී දේශපාලන පළිගැනීම් සිදු නොවිය යුතුයි. රාජ්ය නිලධාරීන් ඒ පිළිබඳ අවබෝධයෙන් කටයුතු කළ යුතුයි” යනුවෙන් සඳහන් කළේය.
එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්රී ක. ඉලංගුමරන් මහතා, “පසුගිය කාලවල සිදුවූ වැරදි රාජ්ය නිලධාරීන් නැවත සිදු නොකරමින් නිවැරදිව කටයුතු කළ යුතුයි” බව අවධාරණය කළේය.