ගංවතුරෙන් ආපදාවට පත් ජනතාව වෙනුවෙන් මානුෂීය ආධාර සහ ආපදා සහන සැලසීම ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සැපයීම වෙනුවෙන් දිවයිනම ආවරණය වන පරිදි විශේෂ වැඩ පිළිවෙලක් නාවික හමුදාව විසින් ක්‍රියාවට නංවා ඇත. ඒ යටතේ ඌව පළාත් ජලසම්පාදන මණ්ඩලයට අයත් මහියංගනය ජල පවිත්‍රාගාරයේ සහ මධ්‍යම පළාත් ජල සම්පාදන මණ්ඩලයට අයත් පේරාදෙණිය ගැටඹේ ජල පවිත්‍රාගාරයේ ගංවතුරෙන් ආපදාවට පත්ව අක්‍රීය වී ඇති ජල පොම්ප අළුත්වැඩියාව සහ නඩත්තු කටයුතු වෙනුවෙන්, කිමිදුම් සහය ලබා දීම නාවික හමුදාව විසින් සිදුකෙරිණි.
ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වෙතින් සිදු කල ඉල්ලීමකට අනුව සිදුකෙරුණු මෙම කිමිදුම් සහය ලබා දීමේ මෙහෙයුම සඳහා නාවික හමුදා පුද්ගලයන් පස් දෙනෙකුගෙන් (05) සමන්විත කිමිදුම් කණ්ඩායම් දෙකක් සහභාගී විය.
ඒ අනුව, අධික ජල ගැලීම් හමුවේ මහියංගනය ජල පවිත්‍රාගාරයේ දිය යට ජල පොම්ප ක්‍රියාකාරීත්වය අවහිර වන පරිදි තැම්පත්ව තිබූ රොන්මඩ ඇතුළු අවශේෂ මහත් පරිශ්‍රමයක් යොදා ඉවත්කර නැවත යතා තත්වයට පත් කිරීම ඊයේ දින(2025 දෙසැම්බර් 02) සිදු කෙරුණු අතර, ගැටඹේ ජලපවිත්‍රාගාරයේ දිය යට නඩත්තු කටයුතු අද දිනයේත් (2025 දෙසැම්බර් 03) සිදුකෙරෙමින් පවතී.