Tuesday, December 02, 2025
Follow Us
ජාත්‍යන්තර මානූෂීය සහනාධාර ශ්‍රී ලංකාවට
ලෝක නායකයෝ ජනපති වෙත සිය සංවේගය සහ අඛණ්ඩ සහාය පළ කරති
ජීවිත සිය ගණනක් බිලිගනිමින්, රට පුරා ලක්ෂ සංඛ්යාත ජනතාවක් අවතැන් කළ දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ විනාශයෙන් යළි රට යථා තත්වයට ගොඩනැඟීම සඳහා විශාල වශයෙන් ජාත්යන්තර සහාය අඛණ්ඩව ලැබෙමින් පවතී.
ආපදාවට පත් ජනතාව, ඔවුන්ගේ නිවාස, දේපළ සහ යටිතල පහසුකම් යළි ගොඩනැඟීම සඳහා වන වැඩපිළිවෙළ පුළුල් වන විට, ලොව පුරා රටවල් ඒ සඳහා සිය සහාය ප්රකාශ කර ඇති අතර, ඒ අතරින් මෙරට ප්රධාන මිත්ර රටවල් සෘජුව මැදිහත්ව සිටී. ලෝක නායකයෝ සහ ජාත්යන්තර සංවිධාන රැසක් පසුගිය දින කිහිපය තුළ ජනාධිපතිවරයා දුරකථනයෙන් සම්බන්ධ කර ගනිමින් සහ පණිවිඩ යොමු කරමින් මෙලෙස සිය ශෝකය සහ නැවත ගොඩනැගීම සඳහා සහාය පළ කළහ.
 
ඉන්දියාව
මෙම තත්වයට කඩිනමින් ප්රතිචාර දැක්වීම සඳහා සහාය දීමට ඉන්දියාව කටයුතු කර තිබෙන අතර
ඉන්දියානු අග්රමාත්ය නරේන්ද්ර මෝදි මහතා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය හෘදයාංගම ශෝකය පළ කළ අතර, ඉන්දියාව මෙම දුෂ්කර කාලයේදී ශ්රී ලංකාව සහ එහි ජනතාව සමඟ අඛණ්ඩව රැඳෙන බව සහතික විය.
සහන සැපයීමට මෙන්ම, මුදාගැනීමේ සහ පුනරුත්ථාපන කටයුතු සඳහා සාගර් බන්ධු මෙහෙයුම යටතේ අඛණ්ඩ සහාය ලබා දීමටත්, ශ්රී ලංකාව යළි ගොඩනැඟීමේදී අවශ්ය සියලු සහයෝගය ලබා දීමටත් ඉන්දියානු අග්රාමාත්යවරයා පොරොන්දු වී තිබේ. පළමුව, ඉන්දියා INS වික්රාන්ත් සහ INS උදයගිරි යන සමුද්ර යාත්රා මගින් මෙරටට මානුෂීය ආධාර එවන ලද අතර, තවදුරටත් අඛණ්ඩව ආධාර සැපයීමේ කටයුතු සිදු කෙරේ.
 
පකිස්ථානය
පකිස්ථානයද සිය සහාය පළ කරමින්, සිය නාවික හමුදාවේ PNS SAIF නෞකාව මගින් ශ්රී ලංකා නාවික හමුදාව හරහා ගංවතුරෙන් පීඩාවට පත් පවුල්වලට අත්යවශ්ය ද්රව්යාධාර සැපයීය.
 
ඇමරිකා එක්සත් ජනපදය
ඇමරිකා එක්සත් ජනපදය ගං ඉවුරු සවිමත් කිරීම සහ ඉහළ යන ජල මට්ටම් පාලනය සඳහා පොලිසැක් 20,000ක් මෙරටට ප්රදානය කළ අතර, විදුලිජනක යන්ත්ර, උදුන්, ජල බඳුන් සහ කූඩාරම් ආදිය ලෝක ආහාර වැඩසටහන (WFP) මගින් ලබා දීමට නියමිතය.
දකුණු සහ මධ්යම ආසියානු කටයුතු සඳහා එක්සත් ජනපදයේ විශේෂ නියෝජිත සර්ජියෝ ගෝර් මහතා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක නිරත වු අතර, එහිදී ජනාධිපතිවරයා එක්සත් ජනපදයෙන් ලැබෙන අඛණ්ඩ සහාය පිළිබඳව ශ්රී ලංකාවේ කෘතවේදීත්වය පළ කළේය. වර්ධනය වෙමින් පවතින ආපදා තත්ත්වය තමන් සමීපව නිරීක්ෂණය කරන බව සඳහන් කරමින් ආදරණීයන් අහිමි වූ පවුල්වලට සිය බලවත් ශෝ පළ කළ ග්රෝර් මහතා මෙම අසීරු අවස්ථාවේ දී එක්සත් ජනපදය, ශ්රී ලංකාව සමඟ සිටින බවද අවධාරණය කළේය.
ශ්රී ලංකාව මෑතකාලයේ මුහුණ දුන් දරුණුතම ස්වභාවික විපත්වලින් එකකට මුහුණ දෙමින් සිටින බැවින් එයට මුහුණ දීම සඳහා එක්සත් ජනපදයේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවද මෙහිදී ප්රකාශ කෙරිණි.
 
ඕස්ට්රේලියාව
ආපදා තත්වයට කඩිනම් ප්රතිචාර දැක්වීමට සහ යළි ගොඩනැඟීමට ඕස්ට්රේලියාව, ඕස්ට්රේලියානු ඩොලර් මිලියන 1ක මුදලක් ආධාර වශයෙන් ලබා දීමට පොරොන්දු වූ අතර, නේපාලයද, සහන සැලසීමේ කටයුතු සඳහා ඇමරිකානු ඩොලර් 200,000ක දායකත්වයක් දක්වන බව නිවේදනය කර ඇත.
 
මාලදිවයින
ව්යසනයෙන් පීඩාවට පත් ශ්රී ලාංකික ප්රජාවට සිය සහාය ප්රකාශ කළ මාලදිවයිනද ඇමරිකානු ඩොලර් 50,000ක ආධාර ලබා දීමට සහ අවතැන් වූවන් වෙනුවෙන් ටූනා මාළු ටින් පෙට්ටි 25,000ක් පරිත්යාග කිරීමටද පොරොන්දු විය.
මීට අමතරව, මාලදිවයිනේ සිටින ශ්රී ලාංකික ව්යාපාරික ප්රජාව දැනට ක්රියාත්මක යළි ගොඩනැඟීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යාම සඳහා ඇමරිකානු ඩොලර් 33,000ක දායකත්වයක් ලබා දුන්හ.
 
ශ්රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්යාලයද, මුදාගැනීමේ, හදිසි සහන සැපයීමේ සහ කඩිනමින් යළි යථා තත්ත්වයට පත් කිරීමේ වැඩසටහන් සඳහා සහාය දක්වමින්, ඒ සඳහා අවශ්ය සම්බන්ධීකරණ කටයුතු සිදු කරමින් සිටී.
 
මේ අතර, චීනය, තුර්කිය, කියුබාව, බංග්ලාදේශය, යුරෝපා සංගමය, පලස්තීනය සහ නිකරගුවාව ඇතුළු තවත් රටවල් කිහිපයක් සහ ජාත්යන්තර හවුල්කරුවන් රැසක් මෙම ආපදා අවස්ථාවේදී සහ යළි ගොඩනැගීමේදී ශ්රී ලංකාව සමඟ රැඳෙන බවට ප්රතිඥා දෙමින් සිය සහයෝගය ප්රකාශ කර ඇත.
 
ආපදා තත්ත්වය කළමනාකරණය සඳහා ලැබෙන මෙම රාජ්යතාන්ත්රික හවුල්කාරිත්වය සහ කලාපීය සහයෝගීතාව තුළින් ශ්රී ලංකාව යළි යථා තත්ත්වයට ගෙන ඒමේ කාර්යය වඩා වේගවත් සහ ශක්තිමත් වෙමින් පවතී. ආපදාවට පත් වූවන්ගේ නිවාස, ජීවනෝපායන් සහ අත්යවශ්ය යටිතල පහසුකම් නැවත ගොඩනැගීමේ ක්රියාවලියේදී මෙම ජාත්යන්තර සහයෝගය ඉතා වැදගත් වේ.