Monday, November 24, 2025
Follow Us
රුපියල් බිලියන 12ක වියදමින් දඹුල්ලට අතිනවීන පහසුකම්වලින් සමන්විත අංග සම්පූර්ණ නව රෝහලක්

ඉදිකිරීම් වර්ෂ තුනක් තුළ දී අවසන් කිරීමට ද සැලසුම්

පළමු අදියර සඳහා රුපියල් මිලියන 700ක් වෙන් කෙරේ.

දඹුල්ල  මූලික රෝහල නව ස්ථානයක ස්ථාපිත කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) පෙරවරුවේ දඹුල්ල වලගම්බා පිරිවෙන් පරීශ්‍රයේ දී  පැවති රැස්වීමක දී මුලික සැලසුම් සකස් කෙරිණි.

මෙම නව රෝහලේ සමස්ත ඉදිකිරීම් සදහා රුපියල් බිලියන දොළහක පමණ මුදලක් වැයකිරීමට අපේක්ෂිතය. පළමු අදියර සඳහා රුපියල් මිලියන 700ක මුදලක් වෙන් කර ඇති බවත්, පළමු අදියර යටතේ ඇදන් 130 කින් ආරම්භකර උපරිම ඇදන් ධාරිතාවය 200 ක් දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බවත්, මෙහි ඉදිකිරීම් වසර තුනක් තුළ අවසන්කර කිරීමට ද සැලසුම් කර තිබෙන බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසීය.

දඹුල්ල මූලික රෝහල ප්‍රමුඛව දිවයිනේ තවත් රෝහල් හතරක් ජනගහණය විසිරී ඇති ආකාරය මෙන්ම නගර භාවිතා කරන ස්භාවය අනුව කඩිනමින් සංවර්ධනය කිරීමට රජය කටයුතු කරන බව ද , වත්මන් දඹුල්ල රෝහල පවතින තත්ත්වයෙන් නොව නව රෝහල නවීන ආකාරයෙන් ඉදිකිරීමට බලාපොරොත්තුවන බව ද  අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කර සිටියේය.

දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පොහොරන්වැව ග්‍රාමනිලධාරී  කොට්ධාශයේ භූමියක් මෙම නව දඹුල්ල රෝහල ඉදිකිරීම සඳහා දැනටමත් හදුනාගෙන ඇති බව ද මෙම සාකච්ජාවේ දී අනාවරණය වූ අතර මෙහි ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කිරීමේ අවශ්‍යතාවය ද අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කරනු ලැබීය.

අමාත්‍යවරයා ඉහත සඳහන් කරුණු අනාවරණය කරණු ලැබුවේ දඹුල්ල දිස්ත්‍රික් මූලික රෝහල සංවර්ධනය කිරීම සහ නව ස්ථානයක ස්ථානගත කිරීම සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්වරයා විසින් දඹුල්ල වලගම්බා පිරිවෙන් පරිශ්‍රයේ දී ඊයේ පෙරවරුවේ කැදවා තිබූ විශේෂ රුස්වීමකට එක්වෙමිණි.

ආර්ථික මධ්‍යස්ථානයක්, සංචාරක ගමනාන්තයක්, ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් මෙන්ම සංස්කෘතික මධ්‍යස්ථානයක් ලෙස ද ප්‍රධානත්වයක් උසුලන දඹුල්ල නගරයේ  සෞඛ්‍ය සේවා ඉතා ඉහළ තලයකට ඔසවා තැබීම අත්‍යවශ්‍ය කරුණක් බවත්, ඒ පිළිබදව සලකා බලමින්ද මාතලේ දිස්ත්‍රික්කයේ සහ අවට දිස්ත්‍රික්කවල වාසය කරන ජනතාවට උපරිම සෞඛ්‍ය පහසුකම් සැලසීමේ අරමුණින් දඹුල්ල මුලික රෝහල ඉතාමත් නවීන රෝහලක් ලෙස සංවර්ධනය කිරීමට රජය තීරණ්‍ය කර ඇති බව ද  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී වැඩිදුරටත් පැවසීය.

නව රෝහල ඉදිකරන තෙක් වත්මන් රෝහලේ කටයුතු පිළිබඳව ද මෙම සාකච්ඡාවේ දී කරුණු සොයා බැලු අතර එහි දී ඉදිරිපත් වු ගැටළු සඳහා කඩිනම් විසදුම් ලබා දීමට ද අමාත්‍යවරයා සිය අවධානය යොමු කරනු ලැබීය. මෙහි දී හදිසි අවශ්‍යතාවයක්ව පවතින සී.ටී.ස්කෑන් යන්ත්‍රය කඩිනමින් දඹුල්ල රෝහලට ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව ද අවධාරණය කෙරිණි.

මෙහි දී රෝහල ඉදිකිරීමට අදාළ ඉඩම් පවරාගැනීම, සැලසුම් සකස් කිරීම, යටිතල පහසුකම් සැපයීම, අනිකුත් රාජ්‍ය ආයතන සමඟ සිදුකළ යුතු කටයුතු වලට අදාළ සැලසුම් කිරීම, වෛද්‍ය හා අනෙකුත් කාර්ය මණ්ඩල සැපයීම සහ භෞතික සම්පත් සැපයීමට අදාළ කරුණූ ගැන ද ඉතා දීර්ඝව සාකච්ඡා සිදුවිය.