Friday, November 21, 2025
Follow Us
ඇක්වා ප්ලැනට් ශ්‍රී ලංකා - 2025 ජාත්‍යන්තර ප්‍රදර්ශනය ඇරඹෙයි

ජලජ ජීවීන් සහ ජලජ පැලෑටි සහ අගය එකතු කළ මුහුදු ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ නවෝත්පාදනයන් ගෝලීය මතස්‍ය වෙළඳපොළ ඉලක්ක කරගනිමින් අපි සිදු කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

“ජලජ සම්පතෙන් සමෘද්ධිමත් හෙටක්” යන තේමාව යටතේ ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය සංවිධානය කළ ඇක්වා ප්ලැනට් ශ්‍රී ලංකා - 2025" ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමින් අද (21) අග්‍රාමාත්‍යතුමිය එසේ ප්‍රකාශ කළාය .

ධීවර හා ජලජ සම්පත් ආශ්‍රීත නිෂ්පාදන නවීන තාක්ෂණික උපාංග, ජලජ පැලෑටි, විසිතුරු මසුන් ඇතුළු ධීවර ක්ෂේත්‍රයට අදාල අංශ නියෝජනය වන පරිදි පැවැත්වෙන ඇක්වා ප්ලැනට් 2025 ජාත්‍යන්තර ප්‍රදර්ශනය අද (21) සිට 23 දක්වා නෙළුම් කුළුණ පරිශ්‍රයේදී පැවැත් වේ.

සමාරම්භක උත්සවයට සමගාමීව ධීවර ප්‍රජාව වෙනුවෙන් රජය හදුන්වා දුන් විශ්‍රාම වැටුප් හිමිකම් ප්‍රධානය කිරීම අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ. ඇක්වා ප්ලැනට් 2025 සංකේතවත් කරමින් මුල් දින කවරයක් සහ සමරු මුදදරයක් නිකුත් කිරීමද මෙහිදී සිදු විය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේ ප්‍රකාශ කළාය.

"ඇක්වා ප්ලැනට් ශ්‍රී ලංකා - 2025 ජාත්‍යන්තර ප්‍රදර්ශනය" මම දකින්නේ අපේ රජයේ "පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්" කියන ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව අපි බලාපොරොත්තු වන ශ්‍රීලංකාව ධීවර ක්ෂේත්‍රයේ ගෝලීය අපනයන කේන්ද්‍රස්ථානයක් (Global Export Hub) බවට පත්කිරීමේ දැක්ම යථාර්ථයක් කිරීමේ පියවරක් ලෙසයි.

ජාතික ආර්ථිකයේ වැදගත් ස්ථානයක් වගේම අපේ රටේ විශාල පිරිසකගේ ප්‍රධාන ජීවනෝපාය බවට ධීවර කර්මාන්තය පත්වී තිබෙනවා.
ඒ සඳහා ජලජීවී වගාව සහ අභ්‍යන්තර ධීවර කර්මාන්තය පුළුල් ලෙස ප්‍රවර්ධනය කිරීම අවශ්‍යයි. ජලජ ජීවීන් සහ ජලජ පැලෑටි සහ අගය එකතු කළ මුහුදු ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ නවෝත්පාදනයන් ගෝලීය මතස්‍ය වෙළඳපොළ ඉලක්ක කරගනිමින් අපි සිදු කළ යුතුයි.

ඒ සඳහා විද්‍යානුකූල පදනමකින් (science-based) සම්පත් කළමනාකරණය, ඇසුරුම්කරණය වගේම , පරිසර හිතකාමී ධීවර ආම්පන්න භාවිත කිරීම, ආරක්ෂාව සහ නවීන ජලජීවී වගා පද්ධති පිළිබඳ දැනුම හා තාක්ෂණය ලබා ගැනීමටත් ගැනීමටත් අවශ්‍යයි.

ඒ සඳහා අවශ්‍ය සහය ලබා දෙන්න රජයක් ලෙස අපි සුදානම් බව මම මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි.

විශේෂයෙන් අගය එකතු කළ මත්ස්‍ය නිෂ්පාදන වෙනුවෙන් අවශ්‍ය මූළ්‍ය පහසුකම් ලබා දීම සඳහා වැඩපිළිවෙලක් රජය ක්‍රියාත්මක කරමින් යනවා. ඒ වගේම ධීවර කර්මාන්තය ආශ්‍රීත ග්‍රාමීය කුඩා පරිමාණ නිෂ්පාදකයින්ගේ ජීවන තත්ත්වය ඉහළට ගෙන ඒම වෙනුවෙන් අවශ්‍ය සහය ලබා දීමට රජය කටයුතු කරමින් තිබෙනවා.
ඔබ දන්නවා මේ දවස්වල ප්‍රධාන මාතෘකාව වෙලා තිබෙන්නේ අපේ රජයේ දෙවැනි අයවැය.

2026 අයවැය තුළින් ධීවර කර්මාන්යේ සංවර්ධනයට රජය විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. අපේ ධීවර ක්ෂේත්‍රයේ සංවර්ධනයට පළමු වතාවට නීල ආර්ථිකය (Blue Economy) වෙනුවෙන් ප්‍රතිපත්ති, සැළසුම් සහ ක්‍රමවේද සකස් කිරීමට මෙවර අයවැයෙන් මුදල් වෙන් කර තිබෙනවා.

වරාය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීම සඳහා රුපියල් මිලියන 500ක් අපි වෙන් කර තිබෙනවා. ඒ වගේම වාලච්චේන ධීවර වරාය සංවර්ධනය සඳහා රුපියල් මිලියන 350ක් වෙන්කළා. ධීවරයින් සඳහා ජීවිතාරක්ෂක උපකරණ ලබාදීමට රුපියල් මිලියන 100ක් මෙවර අයවැයෙන් වෙන් කර තිබෙනවා. චන්ද්‍රිකා පාදක ධීවර කලාප ලුහුබැඳීමේ පද්ධති (satellite-based fish-ground tracking systems) සඳහාත් රුපියල් මිලියන 100ක් වෙන් කිරීමට රජය කටයුතු කළා. ජලජීවී වගා සංවර්ධන මධ්‍යස්ථාන ඇති කිරීම, ධීවර ප්‍රජාවගේ ආරක්ෂාව, යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ කර්මාන්තයේ තාක්ෂණික දියුණුව සඳහාත් මෙවර අයවැය තුළින් ප්‍රතිපාදන වෙන් කර තිබෙන බව මම කියන්න කැමතියි.

අවසාන වශයෙන් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් සියළු දෙනාට ළගා කිරීමේ අපේ කාර්යට දායක වන ලෙස ධීවර කර්මාන්තයේ නියැළෙන ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.

ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන්
මහතා

කඩාවැටී තිබූ ධීවර කර්මාන්තය නගාසිටවීම සඳහා දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කල බවත් එහි එක් පියවරක් ලෙස මෙම ප්‍රදර්ශනය සැලසුම් කල බවයි. මෙම ප්‍රදර්ශනයේ ප්‍රධාන අරමුණ වන්නේ අප රටේ සාගර සම්පත් පිළිබඳව ජනතාවට අවබෝධයක් ලබාදීම හා සාගර සම්පත වැඩිදියුණු කිරීමට, එම කර්මාන්තවලට ජනතාව දායක කරගැනීම තුල ජනතාවට ප්‍රතිලාභ හා රටේ අපනයන ආදායම වැඩිකර ගැනීමයි

ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ, වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ, ඩිජිටල් ආර්ථික අරුණ ජයසේකර, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ යන මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යංශයේ ලේකම් කෝලිත කමල් ජිනදාස මහතා ඇතුළු අමාත්‍යංශ ලේකම්වරුන්, රජ්‍ය නිලධාරීන්, තානාපතිවරුන්, විදේශ නියෝජිතයින් සහ ධීවර ජනතාව මෙම අවස්ථාවට සහභාගී වූහ.