Thursday, November 13, 2025
Follow Us
"රණවිරු සුබසාධන ඉහළ නැංවීමේ කැබිනට් පත්‍රිකාව" පිළිබඳව ඉහළ පෙළේ සාකච්ඡාවක්

රණවිරු සුබසාධන කැබිනට් පත්‍රිකාව පිළිබඳ ඉහළ පෙළේ සාකච්ඡාවක් ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය, මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික)ගේ ප්‍රධානත්වයෙන්, පසුගියදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදි පැවැත්විණි.

රට දැය වෙනුවෙන් සිදුකල අපරිමිත සේවය සහ කැපකිරීම් අගය කරමින්, ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් තුවාල ලැබූවන් සඳහා හිමි විය යුතු වැටුප් හිමිකම් ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී මූලික වශයෙන් සාකච්ඡා කෙරිණි.

ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් ඇති වූ වෛද්‍යමය හේතු මත වයස අවුරුදු 55ට පසුව විශ්‍රාම ගත් සේවා පුද්ගලයන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් පිළිබඳව සහ අදාළ සුබසාධන ප්‍රතිලාභ සඳහා ඔවුන්ගේ සුදුසුකම් යළි තක්සේරු කිරීමට අවස්ථාව සලසමින් විශ්‍රාමික හමුදා නිලධාරීන්ට වෛද්‍ය මණ්ඩලයක් හමුවට යළි පෙනී සිටීමට අවස්ථා ලබා දීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.

සුබසාධන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය තීරණ සහ ක්‍රියාමාර්ග ගැනීමට පත් කරන ලද කැබිනට් මණ්ඩල අනු කමිටුවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කල අතර, පීඩාවට පත් වූ පුද්ගලයන්ට කඩිනමින් සහන සැලසීම සඳහා මෙම ක්‍රියාවලිය වහාම අවසන් කිරීමේ අවශ්‍යතාවය මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මෙම අවස්තාවේ අවධාරණය කළේය.

මෙම සාකච්ඡාව සඳහා ආරක්‍ෂක ලේකම්,  එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) සහ මුදල් අමාත්‍යාංශ ලේකම්, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා, රණවිරු සුබසාධන සැබැදි රාජ්‍ය ආයතනවල දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම සාකච්ඡාවට සහභාගී වුහ.