දිවයිනේ දිස්ත්‍රික්ක 25 තුළ පළාත් පාලන ආයතන 229ක බලසීමාවන්හි පවතින වැඩිදියුණු කළ යුතු පාලම් 880ක් ප්‍රමුඛතා පදනමින් තිරසරව වැඩිදියුණු කිරීම සඳහා, රුපියල් මිලියන 6,793.03ක් වූ ඇස්තමේන්තුගත මුළු පිරිවැයක් යටතේ, 2026 වසරේ සිට 2029 වසර දක්වා කාලය තුළ, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
පළාත් සභා විසින් ඉදිරිපත් කරන ලද කුඩා පාලම් වැඩිදියුණු කිරීමේ යෝජනා පදනම් කර ගනිමින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, සියලුම පළාත් සභා හා පළාත් පාලන ආයතන සමඟ සම්බන්ධ වී ග්‍රාමීය ප්‍රවේශ යටිතල පහසුකම් පිළිබඳ පුළුල් අවශ්‍යතා තක්සේරුවක් සිදු කර තිබේ.
කුඩා පාලම් විශාල සංඛ්‍යාවක් අබලන්, පටු, අනාරක්ෂිත හෝ විනාශ වී ඇති තත්ත්වයේ පවතින බවත්, ඒ හේතුවෙන් පාසල් ළමුන්, ගොවීන්, කාන්තාවන් ආදී කණ්ඩායම් විශේෂයෙන් අවදානමට ලක් වී ඇති බවත් එම අවශ්‍යතා තක්සේරුව අනුව හඳුනාගනු ලැබ ඇත.
ඒ අනුව, ආරක්ෂිත ගමනාන්තයක් සහතික කිරීම, ප්‍රවාහන වියදම් අඩු කිරීම, වෙළෙඳපොළ ප්‍රවේශය වැඩිදියුණු කිරීම, ග්‍රාමීය නිෂ්පාදනයට පහසුකම් සැලසීම ආදී අරමුණු සහිත ව, ‘පළාත් පාලන ආයතනවල කුඩා පාලම් තිරසරව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය’ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.