Friday, July 04, 2025
Follow Us
 රාමසාන් උත්සවය ඉතා චාම් ආකාරයෙන් සමරමු

2020 රාමසාන් දින පණිවුඩය 

කෝවිඩ්-19 වසංගතය පවතින අර්බුදකාරි තත්ත්වයක පුරා මාසයක් උපවාසශිලයේ හා යහක්‍රියාවන් වල යෙදී අද දින රාමසාන් උත්සවය සමරන මුස්ලිම් ජනතාවට මාගේ සුබපැතුම් එක් කිරීමට කැමැත්තෙමි. තවද ඔබ යෙදුනු උපවාසශීලය ඇතුලූ සියලූ යහක්‍රියා අල්ලාහ් දෙවියන් විසින් පිළිගනිත්වා යැයිද ප‍්‍රාර්ථනා කරමි.

කෝවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ පියවර ලෙසින් ආරක්‍ෂක හා සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කර ඇති මාර්ගෝපදේශ පිළිපැදිය යුතුව තිබෙන හෙයින්, පසුගිය වසරවල මෙන් නොව මෙවර අප රාමසාන් උත්සවය ඉතා චාම් ආකාරයෙන් සමරමු. තවද එම නිර්දේශවලට අනුව අප මෙවර සැමරීම අපගේ නිවසට පමණක් සීමා කරමු. එමෙන්ම අප රට ඇතුලූ මුළු ලොවටම ඇති වී තිබෙන මෙම ව්‍යසනය ඉවත් වන මෙන්ද අප සැම මෙම උවදුරෙන් ආරක්ෂා කරන මෙන්ද සර්වබලධාරී අල්ලාහ් දෙවියන්ගෙන් අප අයැද සිටිමු. මෙම ව්‍යසනය ලොවින් තුරන් කරන්නට අප සැම එක්ව හා සහයෝගයෙන් මෙන්ම තිර අධිෂ්ඨානයෙන් කටයුතු කරන්නට අවශ්‍ය ඉවසීම හා චිත්ත ධෛර්යය අපට ලබා දී ආශීර්වාද කරන මෙන් ලාංකික මුස්ලිම් සැම දෙනා අල්ලාහ් දෙවියන්ගෙන් ප්‍රාර්ථනා කළ යුතුය.

මෙම උතුම් දිනයේ ඉස්ලාමීය මගපෙන්වීම් නිසි අයුරින් අනුගමනය කරමින් මුළු ලොවම හා අප මාතෘභුමිය මෙම වසංගතයෙන් ආරක්ෂා වීමට අප සියල්ලන්ම සර්වබලධාරි අල්ලාහ්ගෙන් අයැද සිටිමු.

එමෙන්ම මෙම ව්‍යවසනයෙන් අපගේ දේශය ගලවා ගැනීමට අව්, වැසි, දිවා, රාත්‍රී නොබලා කැපවීමෙන් කටයුතු කරන රාජ්‍ය නිළධාරීන්, සෞඛ්‍ය අංශයේ නිළධාරීන්ට ද පොලිස් නිළධාරීන් හා ත්‍රිවිද හමුදාවට ද අපගේ හෘදයාංගම ස්තූතිය මෙම රාමසාන් උත්සව දිනයෙහි පළ කර සිටිමි.

මහින්ද රාජපක්‍ෂ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සාමාජවාදී ජනරජයේ
අග්‍රාමාත්‍ය

(news.lk)