Friday, July 04, 2025
Follow Us
ගුවන් ගමන් විවෘත කිරීම සඳහා නිර්ණායක සැකසීම ඇරඹෙයි!

Covid 19 හේතුවෙන් පනවා තිබූ සංචරණ සීමා ඉවත් කිරීම කුමනාකාරයෙන් සිදුකළ යුතුද යන්න මේ වන විට අධ්‍යයනය කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත විද්‍යා ඒකකයේ ප්‍රධානී විද්‍යාඥ සුදත් සමරවීර මහතා පවසයි.

කෙසේවෙතත් විදේශිකයන්ට අපේ ගුවන් පථය විවෘත කළ හොත් නැවත රෝගය පැමිණීමේ ඉඩකඩ තිබෙන හෙයින් රටේ සෞඛ්‍යයට හානියක් නොවන පරිදි අපගේ දේශසීමා විවෘත කළ යුතුවන්නේ කෙසේද යන්න දැනට සාකච්ජා ආරම්භ කර තිබෙන බවයි සුදත් සමරවීර මහතා සඳහන් කරන්නේ.

විදෙස් රටවල සිටි ශ්‍රී ලාංකිකයන් මේ වන විට ගෙන්වීම සිදුවන අතර ඔවුන් සති දෙකක නිරෝධයනයට යොමු කරන හෙයින් ඔවුන් අතරින් ආසාදිතයින් හමුවෙමින් තිබෙන නිසා මෙම සංචරණ සීමා ඉවත් කිරීම ඉතා ප්‍රවේශම් සහගතව හා සැලසුම් සහගතව සිදුවිය යුතු බව හෙතෙම අවධාරණය කරයි.

මේ අතර ඊයේ දිනයේදී වැලිසර නාවික හමුදා කඳවුරේ නිරෝධායනය කර තිබෙන සෙබළු 200ක පමණ PCR පරීක්ෂණ සිදු කර ඇති අතර ඒ අතරින් කිසිවෙකුට හෝ වෛරසය ආසාදනය වී නැහැ.

එහෙත් එමඟින් කඳවුරේ තත්ත්වය පාලනය වී ඇති බවට කිව නොහැකි වුවත් ඉදිරි සති දෙකක වැනි කාලය තුළ එය ඉතා සාර්ථකව පාලනය කරගැනීමට හැකි වනු ඇති බවයි සුදත් සමරවීර මහතා පවසන්නේ.

විශේෂයෙන් මේ වන විට පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය නිසා ඩෙංගු අවදානම වැඩි විය හැකි බවද ඔහු පෙන්වාදෙයි.

එහෙයින් ඇතිවන ගං වතුර තත්ත්වයත් සමඟ දුරස්ථභාවය රඳවා ගැනීම අපහසු වුවත් හැකි සෑම විටම Covid 19 වලක්වා ගැනීමේ උපදෙස් පිළිපැදිය යුතු බවයි හෙතෙම වැඩිදුරටත් කියා සිටින්නේ.

(LNW)