කොරෝනා ව්‍යසනය හමුවේ ආදායම් අහිමි වූ ජනතාවට රුපියල් 5000ක දීමනාව ලබාදෙන්නේ සමෘද්ධි අරමුදල ඇපයට තබා ලබාගත් බැංකු ණයක් මගින් බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.
"මුළුමනින්ම ගෙවීමට ඇස්තමේන්තු කරලා තියෙන මුදල මැයි මාසයට කෝටි 2572ක්. පසුගිය මාසයට කෝටි 2500ක් ගත්තොත් එතකොට කෝටි 5000කට වැඩියි මේ දීලා තියෙන සහනාධාරයේ ප්‍රමාණය.
ඒ සඳහා රජය මුදල් සපයා ගන්නෙ ඉතාම අසීරුවෙන්. අයවැය ලේඛන මගින් හෝ පරිපූරක ඇස්තමේන්තු මගින් මෙවැනි ගෙවීමක් කිරීම සඳහා ප්‍රතිපාදන සලසා නැති නිසා සමෘද්ධි අරමුදලෙ තියෙන මුදල් ප්‍රමාණවත් නැති නිසා ඒවා ඇපයට තබා බැංකු ණයක් අරගෙන තමයි මේ ප්‍රමාණය ගෙවන්නෙ.
සියලුම ජනතාව තේරුම් ගතයුතු සරල සත්‍යයක් තියෙනවා. මේ ගෙවන එකක්වත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙවත් මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙවත් අපි කිසි කෙනෙක්ගෙවත් මුදල් නෙවෙයි. මහජනතාවගේ මුදල්වලින් තමයි මේ සියලු ගෙවීම් කරන්නෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (21) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
දේශීය සහ විදේශීය වශයෙන් රජයට ආදායම් ලැබෙන සියලු මාර්ග ඇහිරී ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
(LNW)