මැතිවරණ කොමිෂන් සභාවේ දැනුම් දීම මත කොවිඩ් – 19 වෛරසය පැතිර යෑම හේතුවෙන් පීඩාවට පත් ජනතාවට ලබා දුන් රුපියල් 5000 දීමනාව අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
අමාත්‍ය මණ්ඩලය ඊයේ (20) රැස්වූ අවස්ථාවේ දී මේ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් පසු මෙම තීරණයට එළැඹි බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරයි.
කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා ආපදාවන්ට ලක් වූ ජනතාවට ජුනි මාසයේදීත් රුපියල් 5000 ලබා දීමේ සැබෑ අවශ්‍යතාවක් තිබේද යන්න සලකා බලන ලෙස මැතිවරණ කොමිෂන් සභාව රජයට දැනුම් දී තිබුණි.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පෙන්වා දී ඇත්තේ මෙලෙස රුපියල් 5000 දීමනාව ලබා දීම රජයේ දේශපාලනය ප්‍රවර්ධනය කිරීමක් ලෙස පැමිණිලි ඉදිරිපත් කර තිබෙන බවයි. විවිධ පුද්ගලයන්, සිවිල් සංවිධාන, පක්ෂ ලේකම් විසින් මෙලෙස පැමිණිලි ඉදිරිපත් කර තිබෙන බවද ඔහු පෙන්වා දී තිබිණි.
කොවිඩ් පාලනය වී රට සාමාන්‍ය තත්ත්වයට පැමිණ ජනතාවට සිය ජීවනෝපාය ආරම්භ කළ හැකි නම් ජුනි මාසයේදී මෙම දීමනාව ලබා දීම පිළිබඳව සලකා බලන ලෙස මැතිවරණ කොමිෂන් සභාව රජයට දැනුම් දී තිබුණි.
මෙම දීමනාව ලබා දීමේ වැඩසටහන්වලින් ප්‍රාදේශීය සහ ග්‍රාමීය දේශපාලනඥයන් ඉවත් කරන ලෙසද මැතිවරණ කොමිෂන් සභාව යෝජනා කර ඇත.
ජුනි මාසයේදී ද රුපියල් 5000 දීමනාව ලබා දෙන බව රජය මීට පෙර ප්‍රකාශ කළේය. ඒ පවුල් ලක්ෂ 74කටය. මැතිවරණ කොමිෂන් සභාවේ දැනුම් දීම පිළිබඳව අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ඊයේ (20) දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.
(Aruna)