අන්තවාදී සංවිධානයක් විසින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා සූදානම් වන බවට සමාජ මාධ්‍ය හරහා පැතිර යන කටකතාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව ආරක්ෂක ලේකම්වරයා පවසනවා. මෙවැනි තොරතුරු සමාජ ජාලා මාධ්‍ය හරහා පළවූ පමණින් නොමග ගොස් කලබලයට පත් නොවන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.
කොවිඩ් වෛරසය මර්දනය වෙනුවෙන් පොලීසිය, ත්‍රිවිධ හමුදාව මෙන්ම බුද්ධි අංශ ද සෘජුව මැදිහත්ව සිටින නමුත්, ආරක්ෂක අංශ හෝ බුද්ධි අංශ ඔවුන්ගේ දෛනික රාජකාරිවලින් කිසිවිටෙකත් ඉවත් කර නොමැති බවයි ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ. ඒ නිසා බුද්ධි අංශ ජාතික ආරක්ෂාව වෙනුවෙන් සිදුකරන මෙහෙයුම් ක්‍රියාත්මකව පවතින බවත් අන්තවාදී ප්‍රහාරයක් හෝ වෙනත් අන්තවාදී තර්ජනයක් හෝ සම්බන්ධයෙන් බුද්ධි අංශ වෙත කිසිදු තොරතුරුක් හෝ වාර්තා වී නොමැති බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන් සියලු බුද්ධි අංශ එක් ජාලයක් යටතට පත්කර ඇති බවත් අභ්‍යන්තර හෝ බාහිර වශයෙන් රටට එල්ල වන ඕනෑම අනතුරක්, තර්ජනයක් සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට එම බුද්ධි අංශ ජාලය සමත් වන බැවින් ජනතාව කිසිදු බියක් ඇතිකර ගතු යුතු නොමැති බවත් ආරක්ෂක ආමත්‍යංශය අවධාරණය කරනවා.
කෙසේ වෙතත් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු ලුතිනන් කර්නල් ප්‍රිමාල් රුද්‍රිගු මහතා විසින් ඊයේ නිකුත් කර ඇති ආරක්ෂක තොරතුරු වාර්තාවක සඳහන්ව තිබෙන්නේ රටේ පවතින වත්මන් තත්වය හමුවේ ISIS සංවිධානයට සම්බන්ධ ත්‍රස්තවාදීන් පිරිසක් යම් විනාශකාරී ක්‍රියාවක් සිදු කිරීමට සැළසුම් කරමින් සිටින බවට රාජ්‍ය බුද්ධි අංශ දන්වා ඇති බවයි.
රාජ්‍ය හා පෞද්ගලික ආයතන වෙත ඇතුළු වී තියුණු ආයුධ භාවිතා කරමින් තුවාල සිදු කිරීමේ අවදානමක් පවතින බවටයි අදාල වාර්තාවේ සඳහන්ව තිබෙන්නේ.
මෙම වාර්තාව ඊයේ දිනයේදී රාජ්‍ය ආයතන වෙතද යවා තිබෙන බවයි වාර්තා වන්නේ.
(LNW)