වසර තිහක් තිස්සේ මෙරට වෙලාගත් ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම අවසන් කරමින් යුද ජයග්‍රහණය ලබා ගත් විජයග්‍රහණයේ සැමරුමට අද දිනට වසර 11ක් සපිරේ.
දශක තුනක් තිස්සේ මෙරට ජනතාව දහස් ගණනින් ඝාතනය කළ, බෝම්බ පිපිරවූ, රාජ්‍ය නායකයන් පවා ඝාතනය කළ, මෙරට ආර්ථිකය බිඳ වැට්ටවූ කොටි ත්‍රස්තවාදය, එම සංවිධානයට නායකත්වය දුන් ම්ලේච්ඡ වේලුපිල්ලෙයි ප්‍රභාකරන්ගේ විනාශයත් සමග අවසන් වූයේ මෙරට ජනතාවට ජීවත් වීමේ නිදහස ලබා දෙමින්.
ජාතියට සැබෑ නිදහස හිමි කරදුන් යුද ජයග්‍රහණය ලබා ගැනීමට උර දුන් රණවිරුවන් සමරන විජයග්‍රහණයේ දිනය අද වූවත් කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් යුද ජයග්‍රහණය එළිමහනේ සැමරුනේ නැහැ.
ඒ වෙනුවට ජනතාව සමාජජාලා වල සුභාෂිංශන පළ කරමින් යුද ජයග්‍රහණය සමරනු දක්නට ලැබුනා.
යුද ජයග්‍රහණයට දේශපාලන නායකත්වය ලබා දුන් එවකට ජනපති, වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා යුද ජයග්‍රහණය පිළිබඳ විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනය පහතින්
කොටි සංවිධානයට එරෙහි යුද ජයග්‍රහණයේ 11 වෙනි සංවත්සරය
දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි යුද ජයග්‍රහණයේ එකොළොස් වන සංවත්සරය අපි මැයි 19 වන දා සමරන්නෙමු. එය දෙමළ ජනතාවට එරෙහි යුද්ධයක් නොව ඇමරිකාවේ එෆ්.බී.අයි ආයතනය විසින් ලෝකයේ දරුණුම ත්‍රස්තවාදීන් හැටියට නම් කරනු ලැබූ සංවිධානයකට එරෙහි යුද්ධයක් විය. කොටි සංවිධානයේ පරාජය නිසා දෙමළ ජනතාවටද දැන් නිදහසේ ජීවත් වීමට ඉඩ ලැබී ඇත. දෙමළ ළමුන් දැන් කොටි සංවිධානය විසින් පැහැරගෙන යන්නේ නැත. දෙමළ දේශපාලනඥයින් කොටි ඝාතකයන්ට බියෙන් ජීවත් වන්නේ නැත. කොටි සංවිධානය පරාජය කිරීම තුළින් උතුරු නැගෙනහිර පළාත්වලත් මැතිවරණ පැවැත්වීමට හැකිවීම නිසා එම ප්‍රදේශවල ජනතාවගේ පරමාධිපත්‍ය බලයද නැවතත් තහවුරු වී ඇත.
කොටි සංවිධානයට එරෙහි යුද්ධය ජය ගැනීමෙන් මුළු ලෝකයම මවිත කළ ඒ ත්‍රිවිධ හමුදාව හා පොලිසිය අද කොවිඩ්-19 උවදුරට එරෙහිව සෞඛ්‍ය අංශත් සමග ඒකාබද්ධ මෙහෙයුමක නිරත වී සිටි. මේ අවස්ථාවේ සියලුම කරුණු වලින් පෙනෙන්නේ ශ්‍රී ලංකාව කොවිඩ්-19 සටනින්ද ජයග්‍රහණය කරමින් සිටින බවයි. මහජනතාව අතර රෝගය පැතිරීම වැලැක්වීමට ත්‍රිවිධ හමුදාව හා පොලීසිය සිදුකරන පෙරමුණු බළඇණි කාර්යභාරය, කොවිඩ්-19 රෝගය මේ ආකාරයට පාලනය කිරීමට සෞඛ්‍ය අංශ වලට අතිමහත් පිටිවහලක් වූ බව අවිවාදාත්මකය.
මෙයින් නැවත වතාවක් තහවුරුවන කාරණය වන්නේ ත්‍රස්තවාදයක්, ගංවතුරක්, හෝ වසංගතයක් වේවා, සෑම ආපදා අවස්ථාවකම ත්‍රිවිධ හමුදාව පොදු මහජනතාව සුරකිමින් පෙරමුණේ සිටින බවයි. මේ නිසා, අපේ සමාජය තුළ ‘සිවිල්’ හා ‘මිලිටරි’ වශයෙන් කෘතිම භේදයක් ඇති කිරීමට යහපාලන දේශපාලන පක්ෂ අද ගනිමින් සිටින දුෂ්ඨ උත්සාහය මම හෙලා දකිමි. කුමක් හෝ තනතුරකට ත්‍රිවිධ හමුදාවෙන් විශ්‍රාම ගිය නිලධාරියකු පත් කළහොත් එය ‘මිලිටරිකරණයක්’ හැටියට ඔවුන් හඳුන්වති. ත්‍රිවිධ හමුදාවෙන් විශ්‍රාම ගිය අයෙකු සිවිල් පුරවැසියෙකු මිස හමුදා සාමාජිකයෙකු නොවේ. එදා සිටි සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු බලවේගයට අද රණවිරු පාර්ශවයත් එක්වී සිටි. එමනිසා අපේ ආණ්ඩුවක් බලයේ සිටින විට ආරක්ෂක හමුදාවල හිටපු සාමාජිකයන් අනිවාර්යෙන්ම ආණ්ඩුව තුළ විවිධ තනතුරු දරණු ඇත.
ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට පිටින් පැමිණි සියලු අභියෝග පරාජය කොට මේ රටේ ජනතාවගේ සර්වජන ඡන්දය මත පදනම් වූ පරමාධිපත්‍ය බලය රැක දීමට ත්‍රිවිධ හමුදාව හා පොලිසිය ඓතිහාසිකව කර තිබෙන කාර්යභාරයත් අපි මෙහිදී සිහිපත් කළ යුතුය. මුළු ලෝකයම මවිත කළ යුද ජයග්‍රහණයේ එකොළොස් වන සංවත්සරය සමරන මේ අවස්ථාවේ යහපාලන ආණ්ඩුව අපගේ ත්‍රිවිධ හමුදාව ජාත්‍යන්තරව පාවා දුන් ආකාරයත්, ත්‍රිවිධ හමුදාවේ දැනට සේවය කරන හා විශ්‍රාම ගිය විශාල පිරිසක් දඩයමට හා අවමානයට ලක් කළ ආකාරයත් අප කිසිසේත්ම අමතක කර නැත. ඒ අගතියට පත් සියලු පිරිස් වලට යුක්තිය ඉටු කරන බවට අපි නැවතත් ප්‍රතිඥා දෙමු.
මහින්ද රාජපක්‍ෂ
අග්‍රාමාත්‍ය
(Neth)