Thursday, July 03, 2025
Follow Us
හමුදා නිළධාරීන් රාජ්‍ය ආයතන සඳහා පත් කරන්නේ ජාතියේ යහපත වෙනුවෙන් - බන්දුල

රාජ්‍ය ආයතන සහ අමාත්‍යංශ සඳහා හමුදා නිළධාරීන් පත් කිරීම අලුත් තත්වයක් නොවන බවත් මීට පෙර පැවති ආණ්ඩු කිහිපයක්ම මෙවැනි පත් කිරීම් සිදුකර ඇති බවත් සම කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පවසනවා. අද (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි විශ්‍රාමික හමුදා නිළධාරීන් සහ සේවයේ නියුතු හමුදා නිළධාරීන් රාජ්‍ය ආයතන සඳහා පත්කළ හැකි බවත් ඔහු පෙන්වා දෙනවා. එසේ පත් කරන්නේ ජාතියේ සහ ජාතික ආර්ථිකයේ යහපත වෙනුවෙන් බවත් වඩා හොඳ මහජන සේවාවක් පවත්වාගෙන යාම වෙනුවෙන් බවත් ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යංශ ලේකම්වරුන් සෘජුවම ජනාධිපතිවරයා විසින් පත් කරන තනතුරු වන හෙයින් ඔවුන් රාජ්‍ය සේවකයන් ගණයට නොවැටෙන බවත් ඒ අනුව මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක රාජ්‍ය නිළධාරීන් ස්ථාන මාරු කිරීමට අදාල නීති අමාත්‍යංශ ලේකම්වරුන් පත් කිරීමට අදාල නොවන බව ද බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ අනුව අදාල පත් කිරීම් හේතුවෙන් මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් සිදු වී නොමැති බව ද ඔහු පෙන්වා දෙනවා.

(LNW)