Thursday, July 03, 2025
Follow Us
 පූර්ණ සෞඛ්‍යාරක්ෂාව අවශ්‍ය පහසුකම් සලසා දෙමින් පාසල් නැවත ආරම්භ කිරීමට පියවර

කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් රටක් වශයෙන් පමණක් නොව ගෝලීය වශයෙන් ආර්ථික අසීරුතාවකට පත්ව සිටින මොහොතක වුවත්, මෙරට පාසල් දරුවන්ගේ පූර්ණ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරමින්, අවශ්‍ය පහසුකම් රජය විසින් සලසා දෙමින් පාසල් නැවත ආරම්භ කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, ඉදිරියේදී පාසල් විවෘත කිරීම, පවත්වාගෙන යාම සහ ඊට අවශ්‍ය පසුබිම පාසල් පරිශ්‍රය තුළ සකස් කිරීමට අදාළව ගත යුතු පියවර සම්බන්ධයෙන් දිවයිනේ සියලුම පලාත් ආවරණය කරමින් පැවැත්වෙන වැඩසටහන් මාලාවේ, බස්නාහිර පළාතේ සියළු කලාප සහ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ගේ සහභාගිත්වයෙන්, (14) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති විශේෂ හමුවකට එක්වෙමිනි.

රටේ ජනාධිපතිවරයා හුදෙක් දේශපාලනඥයෙක් නොවී, දක්ෂ පරිපාලකයෙක් සහ නූතන තාක්ෂණය පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු කරන්නෙකු වීම නිසා මෙරට අධ්‍යාපන පද්ධතිය තුළ ද නූතන තාක්ෂණයේ ඉදිරි භාවිතාවන් වෙනුවෙන් වැඩි අවධානය යොමු කරන්නට ඉඩප්‍රස්තාව සැලසී ඇති බවද, කොරෝනා වෛරස ව්‍යාප්තය හේතුවෙන් මතුව ඇති අභියෝගය හමුවේ වඩාත් ඉක්මණින් එම තාක්ෂණික භාවිතාවන් අධ්‍යාපන පද්ධතියට යොදාගැනීමට හැකිව ඇති බව ද, මේ වන විටත් ඇතැම් පාසල් පමණක් නොව පිරිවෙන් තුළ පවා තාක්ෂණික පහසුකම් භාවිතයෙන් virtual schools පවත්වාගෙන යාමට ආයතනික මට්ටමින් පියවර ගෙන තිබීම සතුටට කරුණක් බවත් මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේය. කෙසේ වෙතත්, තවමත් මෙරට පරිගණක පහසුකම් ඇති ශ්‍රී ලාංකිකයින් ප්‍රමාණය මුළු ජනගහනයෙන් 23% ක් බවත්, රූපවාහිනී පහසුකම් පවතින්නේ 81% කට පමණක් බවත්, ගුවන්විදුලියක් පවා නොමැති පිරිස් ද තවමත් අප රටේ සිටින බවත් අප විසින් හඳුනා ගත යුතු වන බවත්, ඒ සියලු පවුල්වල සිටින්නේ ද අපේ රටේම දරුවන් බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

පාසල් නැවත ආරම්භ කිරීමෙන් පසු සිසුන් වෙනුවෙන් අවම වශයෙන් මුඛ ආවරණ දෙකක් හෝ ලබා දීමටත්, උෂ්ණත්ව මාපක උපකරණ පාසල් වෙත ලබා දීමටත්, අත් සෝදන ජල බේසම් සහ ජල සැපයුම් පද්ධති ලබාදීමටත් විශාල පිරිවැයක් වැයවන බවද, එහෙත් මේ අවස්ථාවේ දෙමාපියන් වෙත බරක් නොවී, රජය එම සෞඛ්‍යාරක්ෂිත පහසුකම් ලබාදීමට කටයුතු කරන බව ද, ඒ සඳහා, පළාත්, කලාප සහ කොට්ඨාස මට්ටමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිරතව සිටින සියලු දෙනාගේ සක්‍රීය දායකත්වය අවශ්‍ය වන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය


(news.lk)