අනුරාධපුර නුවර වැවේ පදිංචිකරුවන් පිළිබඳ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අද (24) දින ගොවිජන මන්දිරයේදී පැවැත්විණ. ඒ ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් විතාරණ මහතාගේ සහභාගීත්වයෙනි.
එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා සිදු කළ පැහැදිලි කිරීම පහත සඳහන් වේ.
“පසුගිය දිනවල නුවර වැවේ මිනුම් කටයුතු පිළිබඳව සහ අපේ රටේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘති පිළිබඳව සමාජය ඇතුළේ ලොකු කතාබහක් ඇති වුණා. Clean Sri Lanka වැඩසටහන යටතේ අපි රටපුරා වැව් පද්ධතිය මැනලා නිරවුල් කිරීමේ වැඩසටහනක් ආරම්භ කළා. විශේෂයෙන්ම රටක විදිහට ගත්තහම දශක ගණනාවක් පුරාවට මෙවැනි වැඩකටයුතු සිදුවෙලා තිබුණේ නැහැ. ආයතන වෙත පැවරුණු භූමි වෙන් කරලා හඳුනා ගැනීම වගකීමක් විදිහට රජයකට තියෙනවා. හැබැයි පසුගිය ආණ්ඩු දිගින් දිගටම මේවා කරන්න සමත් වුණේ නැහැ. ඒ නිසා වැව් පද්ධතිය විවිධ පුද්ගලයින් සතු කරගෙන පදිංචි වෙන්න, ව්‍යාපාර කරන්න යොදා ගනිමින් තිබුණේ. මේක වෙනස් කිරීම අපේ ආණ්ඩුවේ වගකීමක් බවට පත්වෙලා තිබුණා. අපි මැතිවරණයට ඉදිරිපත් වෙද්දි සහ මැතිවරණයට පෙර අපි ජනතාවත් එක්ක සාකච්ඡා කරද්දි මෙවැනි කරුණු කාරණා අපි සාකච්ඡා කළා. වාරි පද්ධතිය සතු රක්ෂිත ටික අල්ලා ගැනීම රටේ එක ජාවාරමක් බවට පත්වෙලා තිබුණා. මේවා රටේ සම්පත්.
අපි Clean Sri Lanka වැඩසටහන යටතේ ප්‍රතිපාදන වෙන්කරලා වාරි පද්ධතිය මිනුම් කරලා නිරවුල් කරන්න අපි ආරම්භ කළා. එහි පළවෙනි අදියරේදී අපි වැව් 23ක් හඳුනාගත්තා. ඒකේ වැදගත්ම සමාජ අවධානය යොමු වුණු වැව තමයි නුවර වැව. නුවර වැව කියන්නේ අනුරාධපුරයට පමණක් අයිති වැවැක් නෙවෙයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුවට බලයක් තියෙනවා මැනුම් කරන්න. වාරිමාර්ග ආඥා පනතේ විධිවිධාන අනුව සීමා තීරණය කරන්න, පොළවේ සීමා ලක්ණු කරන්න වාරිමාර්ග දෙපාර්තමේන්තුවට නිල බලයක් තියෙනවා. අන්න ඒක පාවිච්ච් කරලා තමයි අපි මේ කටයුතු පටන් ගත්තේ. මේක කරගෙන යද්දි මුලින්ම කැබිනට් පත්‍රිකාවක් දාලා මේ තීන්දුව ගත්තා.
ආණ්ඩුවක් ගනුදෙනු කරන්නේ ජනතා අපේක්ෂාවන් සමඟයි. අපි ආණ්ඩුවක් විදිහට සූදානමක් නැකාවවත් එලවලා දාන්න. ඔවුන්ගේ ජනජීවිතය අවුල් කරලා වැව නිදහස් කරන්න අදහසක් ආණ්ඩුවේ කාටවත් නැහැ. අපිට තිබුණා නිශ්චිත වැඩපිළිවෙලක්. ඒ අනුව අපි පත්කරනවා කැබිනට් අනුකමිටුවක්. විශේෂයෙන් ඒක නම් කරන්නේ භුක්තිය දරන්නන් සම්බන්ධයෙන් කටයුතු කිරිමට. ඊට අමතරව අපි තාක්ෂණික කමිටුවක් නිර්දේශ කරනවා. ඒ තාක්ෂණික කමිටුව පත්කරන්නේ කැබිනට් අනු කමිටුවට සහය ලබාදෙන්න. මේ සියලු කාරණා අපි විධිමත්ව ඉටු කරමින් ඉන්නේ කාරණයත් එක්ක බද්ධ වෙච්ච ජනතාවට උපරිම සාධාරණයක් කිරීම සඳහා ආණ්ඩුවක් විදිහට සැලසුම් සහගතව සම්බන්ධ වෙනවා. එතකොට මාධ්‍ය සාකච්ඡා තියලා, විවිධ කණ්ඩායම් කුමන චෝදනා නැගුවත් අපි ආණ්ඩුවක් විදිහට මේ හැම පැත්තක් පිළිබඳවම අවධානය යොමු කරමින් තමයි කටයුතු කරමින් ඉන්නේ.
මෙතන විවිධ කණ්ඩායම් ජීවත් වෙන්න පුළුවන්. මෙතන බිම් කොටස් විදිහට ගත්තොත් ආසන්න වශයෙන් 900ක් විතර තියෙනවා කියලා අපි හඳුනගෙන තියෙනවා. හැබැයි අපට මේක ඇතුළේ දේශපාලන ගේම් නැති වුණාට මේ කණ්ඩායම් ඇතුළේ දේශපාලන ගේම් තියෙනවා කියලා පැහැදිලියි. භූමිය අත්පත් කරන් ඉන්න සාමාන්‍ය පුද්ගලයින් වගේම දේශපාලන හයිය පාවිච්චි කරලා ඉන්න අය මෙතන ඉන්නවා. විශේෂයෙන්ම චන්ද්‍රසේනලා ඒ වගේම ඥාන අක්කලා මේක ඇතුළේ ඉඩම් අත්පත් කරගෙන තියෙනවා. එතකොට මෙතන පදිංචි වුණේ පදිංචි වෙන්න තැනත් නැති අයම නෙවෙයි. මේ දේශපාලන ගේම ගහලා ඉඩම් අත්පත් කරගෙන තියෙන්නේ. රටට වගකියන ආණ්ඩුවක් විදිහට අපේ වගකීම තමයි මේ භූමිය නිරවුල් කිරීම. ඒ වගකීම තමයි අපි ඉටු කරමින් යන්නේ. අපි ජනතාවට කියනවා, ඔබ වෙනුවෙන් කැබිනට් අනු කමිටුවක් පත්කරලා තියෙනවා. විසඳීම සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම දෙන්න තාක්ෂණික කමිටුවක් පත්කරලා තියෙනවා. ඒ වගේම ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුව මේ ක්‍රියාවලියට සහය දක්වනවා. ඔබට ඉටු වියයුතු සාධාරණය ඉෂ්ට කරන්න අපි ආණ්ඩුවක් විදිහට කටයුතු කරමින් ඉන්නවා. සමහර කලබල වෙච්ච මාධ්‍ය ආයතනවල ඉඩම් ඕක ඇතුළේ තියෙනවා කියලා තොරතුරු තියෙනවා. රටට වගකියන ආණ්ඩුවක් විදිහට ජනතාවත් එක්ක මේ ප්‍රශ්නය ඉතාම සාධාරණව විසඳා ගන්න අපි කටයුතු කරමින් ඉන්නවා. අපි කිසිම සොයා බැලීමකින් තොරව හිතුවක්කර ලෙස එළියට දානවා කියලා අපි කියලා නැහැ. පළවෙනි වටයේ මැනුම් කරන්න. සීමා දාන්න. ඊළඟට ගතයුතු ක්‍රියාමාර්ග ගැනීම සඳහා ආණ්ඩුවක් විදිහට විධිමත් යාන්ත්‍රණයක් හදලා තියෙනවා. ජනතාව කලබල විය යුතු නැහැ. මේක ඇතුළේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනුගමනය කරන නීතිරීති එක්ක අපි එකඟ වෙලා කටයුතු කරමු. මේකේ ඉඩම් අත්පත් කර ගත් ජාවාරම්කරුවන්ට අපි ඉඩක් තියන්නේ නැහැ. මේකේ ජය භූමි, ස්වරණ භූමි වගේ බලපත්‍ර දීපු ඉඩම් කැබලි කිහිපයක් තියෙනවා. සංඛ්‍යාව ගත්තොත් 370ක් විතර තියෙනවා. ඉතිරි කොටස් අනවසර සහ වෙනත් ආකාරයෙන් අයිති කරගත් ඉඩම්.
මෙවැනි ඓතිහාසික භූමියක පෞද්ගලික උවමනාවන් වෙනුවෙන් බිම් කොටස් ටික කැබලි කරගන්නා තෙක් එදා හිටපු ආණ්ඩු අනුගමනය කරපු ක්‍රමවේදය කුමක්ද? එදා හිටපු නිලධාරීන්ගේ මැදිහත්වීම මොකද්ද? කියන ප්‍රශ්නය අපට තියෙනවා. ඉතිහාසයට චෝදනා කරන්නේ මිනිස්සු නිකන්ම නෙවෙයි. එදා හිටපු දේශපාලඥයෝ මොකද්ද කළේ මේ භූමිය අත්පත් කරගන්නකන්? එදා හිටපු නිලධාරීන් දේශපාලන න්‍යාය පත්‍ර යටතේ බය කරලා මේ භූමිය අත්පත් කරගෙන තියෙනවා. ඒ නිසා ඉතිහාසයේ ආණ්ඩු මේකට වග කියන්න ඕනේ. පසුගිය ආණ්ඩු තමන්ගේ හිතවතුන්ට රිසි සේ ඉඩම් බෙදා ගන්න ඇරලා තියෙනවා. ඒ වගේම නිලධාරීන් හිතුවක්කාරී ලෙස වැඩ කරලා තියෙනවා. ජය භූමි ඔප්පුවක්, ස්වරණ භූමි ඔප්පුවක් දුන්නේ නීත්‍යනුකූලව වෙන්න පුළුවන්. හැබැයි කවුද මෙතනට නිර්දේශ කළේ. ඒ නිර්දේශ කරද්දි මොනවද පදනම් කරගත්තු මූලාශ්‍ර. ඒ ප්‍රශ්නය තියෙනවා. ඉතිහාසය පුරා කරපු ජාවාරම්වල ප්‍රතිඵල මේ තියෙන්නේ. ඒ නිසා මේ සියල්ල හෙළිදරව් කරගැනීමකුත් කරන්න ඕනේ. වැව් රක්ෂිතයේ ඉඩම් කවුද නිර්දේශ කළේ. මේවා හොයන්න ඕනේ. ඔබටත් වගකීමක් තියෙනවා. මේ අර්බුදය ඇතුළේ කාටවත්වර්තමාන ආණ්ඩුවට චෝදනා කරලා අත් දෙක පිහිදගන්න බැහැ. මේක ඇතුළේ දේශපාලඥයෝ හිතුවක්කාර ලෙස කටයුතු කරලා තියෙනවා. නිලධාරීන් හිතුවක්කාර ලෙස කටයුතු කරලා තියෙනවා. ඒ වගේම පුරවැසියෝ විදිහට භූමිය අත්පත් කරගෙන තියෙනවා. අපි මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයමු. අපි ආවේ මේ සමාජය වෙනස් කරන්න. අපි හැමෝම වෙනස් වෙමු. අපි කවුරුවත් ඇවිල්ලා පර්චස් 10ගන්න නෙවෙයි මේ ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නේ. එතන ඉන්න ජනතාව පන්නලා අපේ ආණ්ඩුවේ කාටවත් මේ ඉඩම් ලබාදෙන්න නෙවෙයි අපි කටයුතු කරන්නේ. අපි මේ මජර සංස්කෘතිය වෙනස් කළ යුතුයි. ඒක ඇතුළේ හැම පාර්ශවයකටම යම් කැපකිරීමක් කරන්න වෙනවා. මේක විසඳගන්න ආණ්ඩුවත් එක්ක සාකච්ඡා කරමින් කටයුතු කරන්න. අපි ඔබට සාධාරණයක් කරනවා. අපි ඔබව මහපාරට ඇදලා දාන්න සැලසුම් කරලා නැහැ. මේක ජනතාවාදී ආණ්ඩුවක්. ඒ ජනතාවගේ අභිලාශයන් ඉටු කිරීම තමයි ආණ්ඩුවේ අපේක්ෂාව. අපි හැමෝම තීරණාත්මක තැනකට ඇවිත් මේ ප්‍රශ්නය විසඳා ගනිමු. අවුරුදු 50ක 60ක දේශපාලන අතපෙවීම් යටතේ අපේ රටේ ජනතාවට අහිමි වෙච්ච එක තැනක් තමයි මේ වාරිමාර්ග පද්ධතිය. වැව් ආශ්‍රිත රක්ෂිත භූමි. ඒ නිසා මේවා නිරවුල් කරන එක වගකිව යුතු ආණ්ඩුවක වගකීමක්. සුහදව මේ කාරණය විසඳාගෙන ඔබටත් සාධාරණයක් කරමින් රටටත් සාධාරණයක් කරන්න තමයි අපේ ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නේ.”
මෙම අවස්ථාවට වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් අජිත් ගුණසේකර මහතා ද සහභාගී විය.