සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා සහ සමස්ත ලංකා හෙද සංගමය අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (11) පස්වරුවේ සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ දී පැවැත්විණි.
මහජන සෞඛ්ය හෙද ක්ෂේත්රයේ මතුව ඇති ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීම අරමුණු කර ගනිමින් මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වුන අතර, එහි දී මහජන සෞඛ්ය හෙද ක්ෂේත්රය පුළුල් කරමින් වඩාත් විශිෂ්ට සේවාවක් ජනතාවට ලබාදීම සඳහා මානව සම්පත යොදාගත හැකි ක්රමවේදයන් මෙන්ම පැනනැගී ඇති ගැටලු පිළිබඳවත් විශේෂ අවධානය යොමු කෙරිණි. අදට (12) යෙදී ඇති “ජාත්යන්තර හෙද දිනය” වෙනුවෙන් එම සේවාවට බලපාන ගැටලුවලට විසදුම් ලබා දීම ද මෙම හමුවේ එක් අරමුණක් විය.
මෙම සාකච්ඡාවේ දී සමස්ත ලංකා හෙද සංගමය නියෝජනය කරමින් සහභාගි වූ නිලධාරීන් ඉදිරිපත් කළ වෘත්තීය ඉල්ලීම් අතර, මහජන සෞඛ්ය හෙද පුහුණුව සදහා හෙද නිලධාරීන් රෝහල්වලින් නිදහස් කිරීමේදී පැනනගින ගැටලු, පළාත් සභා සහ රේඛීය අමාත්යාංශය යන දෙපාර්ශවයෙන්ම මහජන සෞඛ්ය හෙද පුහුණුවට බදවා ගැනීමට හැකි ක්රමවේදයන් සකස් කිරීම, පුහුණු කාල සීමාව තුළ පුහුණුලාභීන්ට ආර්ථික අගතියක් ඇති නොවන අයුරින් කටයුතු කිරීම, ශ්රී ලංකා හෙද ව්යවස්ථාවට මහජන සෞඛ්ය හෙද සේවාව විධිමත්ව අන්තර්ගහනය කිරීම, එම වෘත්තිකයන්ට යතුරුපැදි ලබාගැනීමේ වැඩපිළිවෙළ, මහජන සෞඛ්ය හෙද ක්ෂේත්රය ආකර්ශනීය සේවාවක් බවට පත් කිරීම, මහජන සෞඛ්ය හෙද සේවාව ප්රචලිත කිරීම, ‛‛ආරෝග්යා” මධ්යස්ථානවල පැනනැගී ඇති ගැටලු පිළිබදව, රෝහල් සහ මහජන සෞඛ්ය හෙද සේවාව අතර යොමු කිරීම් විධිමත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් ඒ අතර විය.
එමෙන්ම මහජන සෞඛ්ය හෙද නිලධාරීන් මුහුණ දෙන ගැටලු හා විසඳුම් පිළිබඳවත්, විශේෂයෙන් පුහුණු අවස්ථා වැඩි දියුණු කිරිම, අත්යවශ්ය තනතුරු ඇතිකර ගැනීම ආදී ක්ෂේත්රයට බලපානු ලබන විශේෂ කරුණු කීපයක් පිළිබඳවත්, හෙද සේවාවේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් ඉදිරිපත්කළ ඉල්ලීම් කිහිපයක් පිළිබදවත් මෙහි දී වඩාත් පුළුල්ව සාකච්ඡා කෙරිණි.
සමස්ත ලංකා හෙද සංගමය විසින් ඉදිරිපත් කළ ඉල්ලීම් සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරමින්, ගැටලු හදුනා ගනිමින් එම ගැටලු නිරාකරණය සඳහා සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශය නියෝජනය කරමින් සාකච්ඡාවට සහභාගි වූ නිලධාරින්ට අවශ්ය උපදෙස් ලබාදීමට ද අමාත්යවරයා මෙහිදී කටයුතු කළේය.
හෙද විදුහල්වල සිසු හෙද පුහුණුව සඳහා 5103 දෙනෙකු බඳවා ගැනීමට අමාත්යාංශය කටයුතු කළ අතර එම කාලපරිච්ඡේදය තුළ හෙද නිලධාරී පත්වීම් 3441ක් පිරිනැමීමටද කටයුතු කෙරිණි.
මීට අමතරව නුදුරේදීම හෙද නිලධාරීන් 2847දෙනෙකු බඳවා ගැනීමට සෞඛ්ය අමාත්යාංශය කටයුතු කරමින් සිටීන අතර පශ්චාත් ප්රාථමික හෙද පුහුණුවට 659 දෙනෙකු බඳවා ගැනීමටත්, විද්යාවේදී හෙද උපාධිධාරීන් 554 දෙනෙකු හෙද අනුස්ථාපන හා සමායෝජන පුහුණුව සඳහා බඳවා ගැනීමටත් කටයුතු කරනු ලැබීය.
එමෙන්ම මහජන සෞඛ්ය හෙද නිලධාරී තනතුරට ද 82 දෙනෙකු බඳවා ගැනීමට හැකියාව ලැබුණු අතර විශේෂ සේවා හෙද නිලධාරී රෝහල් සේවා / අධ්යාපන / මහජන සෞඛ්ය ක්ෂේත්රයන්ගෙන් 87 දෙනෙකුට උසස්වීම් ලබාදීමට ද කටයුතු කළ අතර හෙද විදුහල්පති ඇතුළු තනතුරු කිහිපයක් සඳහා උසස්වීම් ද ලබා දී ඇත.
දීර්ඝ කාලයක් ක්රමවත්ව ක්රියාත්මක නොවු හෙද ස්ථාන මාරු ක්රියාවලිය විධිමත් කර දෙදහස් පන්සියකට ආසන්න පිරිසකට තම නිවසට ආසන්න හෝ ඉල්ලුම් කළ සේවා ස්ථාන වෙත ස්ථාන මාරුවීම් ලබාදීමට ද සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශය කටයුතු කර ඇත.