Saturday, November 01, 2025
Follow Us
ඉන්දියාව අපේ රටේ ගුරුවරුන්ට අවශ්‍ය පුහුණුව ලබා දෙන්න කටයුතු කරමින් යනවා- අගමැතිනී

 ඉන්දියාව අපේ රටේ ගුරුවරුන්ට අවශ්‍ය පුහුණුව ලබා දෙන්න කටයුතු කරමින් යන බවත්, නිර්මාණශීලි ගුරුවරුන්ට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ විශේෂ අවස්ථා නිර්මාණය කරන බවත් අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

ඉන්දියානු රජයේ සහය ඇතිව පොළොන්නරුව ප්‍රදේශයේ ඉදිකළ බහුවාර්ගික ත්‍රෛභාෂා  පාසල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසුවාය. ඇය මේ අදහස් පළ කරන ලද්දේ පොළොන්නරුව ගල්ලෑල්ල ප්‍රදේශයේ දී ඉන්දීය රජයෙන් පරිත්‍යාග කරන ලද බහු වාර්ගික ත්‍රෛභාෂා ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (31) සහභාගී වෙමිනි.

 අපේ රට විවිධ ආගම්, භාෂා සහ ජන වර්ගවලට අයත් පුද්ගලයන් එකමුතුව ජීවත් වන රටක් බව අභිමානයෙන් සඳහන් කළ හැකි බවත්, ඉතිහාසයේ පළමු වතාවට, විවිධත්වය ආරක්ෂා කර ගනිමින් ශ්‍රී ලාංකිකයන් ලෙස ජාතික ඉලක්කයක් කරා පොදු සංස්කෘතික ගමනක් යාමට හැකි වීම අතිශය සතුටට කරුණක් බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පොළොන්නරුවේ දී ප්‍රකාශ කර සිටියා ය.

ත්‍රෛභාෂා සංකල්පය යටතේ මෙම ගොඩනැගිල්ල විවෘත කිරීම විශාල අභියෝග මැද සාර්ථකව ඉටු කළ හැකි වීම ‍ඓතිහාසික කටයුත්තක් බවත්  මෙම භූමියෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම සඳහා සංවර්ධන සැලැස්මක් සකස් කිරීම මේ වන විට සිදු කර ඇති බවත් ප්‍රකාශ කළ අමාත්‍යතුමිය එමඟින් ප්‍රදේශයේ ජනතාවට, විශේෂයෙන් තරුණ තරුණියන්ට, අධ්‍යාපනික හා වෘත්තීය වශයෙන් සාර්ථක විය හැකි අවස්ථා නිර්මාණය වනු ඇති බවත් ප්‍රකාශ කළා ය.

අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඉතාමත් තීරණාත්මක ප්‍රතිසංස්කරණයක් ක්‍රියාත්මක කිරීමට  සූදානමින් සිටින මොහොතක සියලුම දරුවන්ට, වෙනසක් නැතිව, ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම අපේ ප්‍රධාන අරමුණ බවත්, මේ සඳහා විෂය මාලාව අලුත් කිරීම පමණක් නොව, අධ්‍යාපනයේ නව පරිවර්තනීය මගක් නිර්මාණය කිරීමද සිදු කෙරෙන බවත් අමාත්‍යතුමිය වැඩි දුරටත් පැවසීය.

සියලු දරුවන්ට ආරක්ෂිත හා  ගුණාත්මක අධ්‍යාපන පරිසරයක් ලබා දී  අනාගත වැඩ ලෝකයට  සුදුසු, පුරවැසියෙකු ද බිහි කිරීමේ දැක්මෙන් යුතුව මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමෙන් බලාපොරොත්තු වන්නේ ශිෂ්ටාචාරමය වගකීම, සමාජීය වගකීම, හා අනාගත නායකත්වය ඇති පරපුරක් බිහි කිරීම බවත්,  ඒ සඳහා පාසල්වල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, ගුරු හිඟය නැති කිරීම, හා ගුණාත්මක ඉගෙනීමක් ලබාදීමට රජය නිරන්තරයෙන් උත්සාහයක් ගන්නා බවත් ආචාර්ය හරිනී අමරසූරිය මහත්මිය මෙහිදී කියා සිටියා ය.

වේගයෙන් වෙනස්වන තාක්ෂණික ලෝකයක ජීවත් වන දරුවන් ඩිජිටල් අධ්‍යාපනයට සූදානම් කිරීමේ ප්‍රමුඛ අරමුණින් දරුවන්ට තාක්ෂණය නිවැරදි ලෙස භාවිතා කර, නව දැනුම හා නව නිපුණතා ලබා ගැනීමට අවශ්‍ය අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමටත්, ඩිජිටල් අන්තර්කරණ තාක්ෂණය අධ්‍යාපනයට නිසි ලෙස යොදා ගැනීමටත් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරිය වැඩි දුරටත් සඳහන් කළා ය.

ඒ සඳහා ඉන්දීය රජය සමඟ එකතු වී අධ්‍යාපන පරිපාලන නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, එමගින් අධ්‍යාපන පද්ධතිය තුළට හා රට තුළට නව තාක්ෂණික දැනුම හා අදහස්  ගෙන ඒමට අපේක්ෂිත බව ද වෙනස් කළ යුතු තැන් නිවැරදි කරමින්, දරුවන්ගේ අනාගතය සාර්ථක කර ගැනීම අභිප්‍රාය වන බව ද පැවසූ අගමැතිතුමිය, අධ්‍යාපනය මගින් රටේ පුරවැසියන් නව ආධ්‍යාත්මික ගුණ වගාවකින් හෙබි නව පරපුරක් ලෙස සමාජයට දායාද කිරීම රජයේ අරමුණ බවත් මෙහි දී ප්‍රකාශ කළා ය.

මේ අවස්ථාවට ඉන්දීය මහකොමසාරිස් සන්තොෂ් ජා, නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන නි‍යෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන රත්නසිරි බණ්ඩාර,  සුනිල් රත්නසිරි, අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කලුවැව යන මහත්වරුන් ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීහු  මෙම අවස්ථාවට සහභාගී වූහ.