Monday, October 13, 2025
Follow Us

නිදහස් අධ්‍යාපනයේ පියා යන විරුදාවලිය ලත් ආචාර්ය සී. ඩබ්. ඩබ්. කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ 141 වන ජන්ම දින සැමරුම් උළෙල අද (13) අධ්‍යාපන හා  උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මතුගම ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

නිදහස් අධ්‍යාපන ක්‍රමය රටට දායාද කිරීම වෙනුවෙන් කන්නන්ගර මහතා කළ මෙහෙය අගය කිරීම සහ එම ප්‍රතිපත්තිය තවදුරටත් ඉදිරියට ගෙන යාමේ වැදගත්කම සිහිපත් කිරීම මෙම සැමරුම සංවිධානය කිරීමේ ප්‍රධාන අරමුණ විය.

මෙම අවස්ථාවට සහභාගී වෙමින් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේ,

සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මැතිතුමාගේ මඟ ඔස්සේ යමින් නූතන ලෝකයට ගැලපෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම සිය ඒකායන වෑයම බවයි.

ප්‍රායෝගිකත්වයට නැඹුරු වූ විෂය මාලාවක් හඳුන්වා දීම,තාක්ෂණය හා නවෝත්පාදනය අධ්‍යාපනයට මුසු කිරීම, ගෝලීය අවශ්‍යතාවන්ට ගැළපෙන පරපුරක් බිහි කිරීම,ගුරු පුහුණුවෙහි ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ සෑම දරුවෙකුටම සමාන අවස්ථා උදාකරමින් සමාන පහසුකම් ඇති පාසල් ගොඩ නැඟීම පිළිබඳ ව ඒ මහතා මෙහිදී අවධාරණය කළේ ය.

කන්නන්ගර මහතා දැකීමට උත්සාහ කළ සමානාත්මතාව හා ගුණාත්මක අධ්‍යාපනය 21 වන සියවසේ දැනුම හා කුසලතාවලින් සන්නද්ධ කරමින් ඉදිරියට ගෙන යා යුතු බවත්, මෙය හුදෙක් පුද්ගල සැමරුමක් ලෙස නොගෙන සමස්ත නිදහස් අධ්‍යාපනය හා බැඳුණු ප්‍රතිපත්ති මාලාවක් ලෙස වටහා ගත යුතු බවත් ඒ මහතා වැඩි දුරටත් අවධාරණය කළේය.

මෙහිදී කන්නන්ගර ගුණානුස්මරණ පදනම දීපව්‍යාප්තව පැවැත්වූ කන්නංගර අනුස්මරණ නිර්මාණ තරගාවලියෙන් ජයග්‍රහණය ලැබූ සිසු සිසුවියන්ට ත්‍යාග බෙදාදීම ද සිදුකරන ලදි.

මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව රණසිංහ මහතා, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා ඇතුළු මැති ඇමතිවරුන් සහ කන්නන්ගර පවුලේ ඥාතීහු ද සහභාගී වී සිටියහ.