.
ශ්රී ලංකාවේ බහු ආගමික සහජීවනය සංකේතවත් කරමින්, නවරාත්රී පූජෝත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය ගේ ප්රධානත්වයෙන් ඊයේ (09) පාර්ලිමේන්තු පරිශ්රයේ දී උත්සවාකාරයෙන් සමරනු ලැබීය. මේ අවස්ථාව සමගින් කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතාද එක්ව සිටියේය.
ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්ය රාමලිංගම් චන්ද්රසේකර් මහතාගේ අනුග්රහයෙන්, ගරු කථානායකවරයාගේ උපදෙස් මත, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්යාංශයේ, හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව,ශ්රී ලංකා පාර්ලමේන්තුව හා එක්ව මෙම උත්සවය පවත්වන්නට යෙදුණි.
භක්තියෙන් සමරනු ලබන හින්දු ආගමික උත්සවයක් ලෙස නවරාත්රී උත්සවය හැඳින්වෙන අතර මේ උත්සවය සෑම වසරකම ඔක්තෝබර් මස මුලදී සමරනු ලැබේ. මෙම පූජෝත්සවය දින 9ක් රාත්රී භාගයේ දෙවියන් වෙනුවෙන් පවත්වන හෙයින් " නවරාත්රී " උත්සවය ලෙස නම් කොට ඇත. පළමු දින තුනේදී දුර්ගා දේවිය වෙනුවෙන් පුද පූජා පවත්වන අතර සියලු දුර්ගුණ, නපුර සහ දෝෂ දුරු කිරීමේ බලය ඇය සතුය. ඊළඟ තෙදින තුළ පුදනු ලබන්නේ තමන්ගේ බැතිමතුන් වෙත නොනැසෙන සම්පත සහ යස ඉසුර ලබාදෙන්නී සේ සැලකෙන ලක්ෂ්මී දේවියයි. ප්රඥාවේ දේවතාවිය සේ සලකන සරස්වතිය නමදිනු ලබන්නේ අවසන් තෙදින තුළය. මෙකී දින 09න් පසු 10වන දිනයේදී පූජාවක් පැවැත්වෙන අතර එය “විද්යා ආරම්භම්” ලෙස හඳුන්වයි. එම පූජාව අධ්යාපන කටයුතු ආරම්භ කිරීම සංකේතවත් කරමින් කරනු ලබන පූජාවක් ලෙස සැළකේ.
ඒ අනුව අද පාර්ලිමේන්තු පරිශ්රයේ දී නවරාත්රී පූජෝත්සවය සැමරීම ආරම්භ කරමින් පූජකවරු ආගමික චාරිත්ර වල නිරත වූහ. එමෙන්ම මෙම අවස්ථාව ආශීර්වාදාත්මක නර්තනාංග කිහිපයකින් සහ වාදනයන්ගෙන් වර්ණවත් විය.
මෙහිදී අදහස් දක්වමින් ආචාර්ය හරිනි අමරසුරිය ගරු අග්රාමාත්යතුමිය මෙම පූජෝත්සවය පැවැත්වීමෙන් ලැබෙන ආශීර්වාදය සමස්ත රටටම ආශීර්වාදයක් වන බවත් එම ආශීර්වාදයෙන් මේ වනවිට සිදුකරගෙන වැඩ කටයුතු වඩාත් හොදින් කරගෙන යාමට අවශ්ය ශක්තිය ලැබෙන බවත් පැවසුවාය.
මෙහිදී අදහස් දක්වමින් ගරු කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතා, මිස දුටු අදහස්වලින් යුත් මිනිසුන් ඉන් මුදවාගැනීමට අවශ්ය ශක්තිය මෙම දේවතාවියන්ට පුද පුජා පැවැත්වීම ඔස්සේ ලැබෙන බව පැවසුවේය. මෙම දේවතාවියන්ගේ ගුණ මිනිසුන්ද උකහාගත යුතු බවත් එම දේවතාවියන්ගේ ආශීර්වාදයෙන් ප්රඥාවන්ත මිනිසුන් නිර්මාණය වන බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ගරු කථානායකවරයා පැවසුවේය.
මේ අවස්ථාව සඳහා හින්දු ආගමික පුජකතුමන්ලා, ගරු නියෝජ්ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්ය (ආචාර්ය) හිනිදුම සුනිල් සෙනෙවි, ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්ය රාමලිංගම් චන්ද්රසේකර්, විපක්ෂයේ ප්රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක යන මහත්ම මහත්මීහූ ද , අමාත්යවරුන්, නියෝජ්ය අමාත්යවරුන්, මන්ත්රීවරයන් මෙන්ම පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න මහතා සහ පාර්ලිමේන්තු කාර්යමණ්ඩලයේ නිලධාරී මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ද සහභාගී වී සිටියහ.