Friday, October 03, 2025
Follow Us
මහනුවර ජාතික රෝහලේ  “ සෙත් පියස”  පිළිකා රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වාට්ටුවක් හෙට විවෘත කෙරේ

සාමාන්‍ය රෝහලක් තුළ ඉදිකෙරුණු මෙරට විශාලතම පිළිකා රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථානයවන මහනුවර ජාතික රෝහලේ පිළිකා රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථානයේ “ සෙත් පියස”  කාන්තා පිළිකා රෝගී ප්‍රතිකාර වාට්ටුව හෙට (02) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රතිකාර සේවාවන් සඳහා එක් කිරිමට නියමිතය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත ඉදිකිරීම් කටයුතු අවසන් කරන ලද මෙම කාන්තා රෝගී ප්‍රතිකාර වාට්ටුව තුළ රෝගීන් 56 දෙනෙකුට නේවාසිකව ප්‍රතිකාර ලබා ගත හැක.

2012 වර්ෂයේ ප්‍රජා ව්‍යාපෘතියක් ලෙස පිළිකා සංගමය මගින් ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය 2014 වර්ෂයේ දී ශ්‍රී ලංකා රජයට භාර දී ඇත. ඉන්පසු වරින්වර අදියරෙන් අදියර මෙහි ඉදිකිරීම් කටයුතු සිදුවූ අතර  වත්මන් රජය පත්වීමෙන් පසු මෙහි ඉදිකිරීම් කඩිනම් කිරීමට මුදල් වෙන්කර ඊට අඳාළ පියවර ද ගෙන ඇත. 

මහල් 9කින් සමන්විත “ සෙත් පියස” ගොඩනැගිලි සංකීර්ණයේ තෙවන මහලේ මෙම කාන්තා පිළිකා රෝගී ප්‍රතිකාර වාට්ටුව ස්ථාපිත කර ඇත.

අනෙකුත් මහල්වල දැඩි සත්කාර ඒකක, අධිසත්කාර ඒකක, පිරිමි සහ කාන්තා වාට්ටු, ශ්‍රවණාගාරයක්, ශල්‍යාගාර, සායන පරිශ්‍ර, ඇතුළුව පිළිකා රෝගීන්ට ප්‍රතිකාර සිදුකිරීමට අවශ්‍යවන එ්කක සහ අංශ ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.

මහල් 9කින් සමන්විත “ සෙත් පියස” ප්‍රතිකාර මධ්‍යස්ථානය සඳහා නව ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 3273 කි. මේවන විට රුපියල් මිලියන 1200 මුදලක් මෙහි ඉදිකිරීම් සදහා වැයකර ඇත. මෙහි පළමු පියවර යටතේ පිළිකා රෝගීන් සදහා විශේෂිත විකිරණ චිකිත්සක ප්‍රතිකාර සිදුකල හැකි යන්ත්‍ර ද  ස්ථාපිත කර ඇත.

පිළිකා රෝගීන්ට අවශ්‍යවන සියළුම ප්‍රතිකාර සේවාවන් එකම ගොඩනැගිල්ලක් තුළදී සිදුකිරීමට හැකිවන පරිදි මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය සැලසුම්කර තිබීම විශේෂත්වයකි.