Friday, October 03, 2025
Follow Us
තෙවන “ආරෝග්‍යා සුවතා” මධ්‍යස්ථානය විවෘත කෙරේ

පසුගිය සමයේ මෙරට සෞඛ්‍ය සේවාවේ තෘතීයික සහ ද්විතීයික ආයතන ශක්තිමත් කිරීමට යොදවන ලද අවධානය ප්‍රාථමික සෞඛ්‍ය සේවාව නඟා සිටුවීමට යොදවා නොමැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.

මෙරට ජීවත්වන ජනතාවට ගෞරවයෙන් හා අභිමානයෙන් යුතුව ‌සෞඛ්‍ය  සේවා රැකවරණ පද්ධතියේ ප්‍රශස්ත ප්‍රතිලාභ වඩාත් සමීපව භුක්ති විදීමේ අයිතිය තහවුරු කිරීම උදෙසා නව රජයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය යටතේ දිවයින පුරා ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර මධ්‍යස්ථාන දහසක් පළමු අදියර යටතේ පිහිටුවීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම  අනුව එම අමාත්‍යාංශය මේ වන විට සැලසුම් කර ඇත.

ඒ අනුව "ආරෝග්‍යා සුවතා" මධ්‍යස්ථාන පිහිටුවීමේ නියමු ව්‍යාපෘතිය යටතේ තෙවන "ආරෝග්‍යා සුවතා" මධ්‍යස්ථානය ඊයේ (29) කළුතර තල්‌පිටිය දළදාවත්ත පවුල් සෞඛ්‍ය සේවා සායන මධ්‍යස්ථාන පරිශ්‍රයේ දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණ අතර, එහිදී අමාත්‍යවරයා ඉහත කරුණූ අවධාරණය කරන ලදි.

“ආරෝග්‍යා සුවතා” මධ්‍යස්ථාන තුළින් සිදුවන සේවාව  පිළිබදව පැමිණි  සිටි ජනතාව මෙහි දී දැනුවත් කළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයත්ස්ස මහතා මෙරට සෞඛ්‍ය සේවාවේ දැවැන්ත වෙනසක් සිදු කරමින් වසර 03 ක් පුරා ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්තු වන මෙම  ව්‍යාපෘතියේ පළමු අදියරේ තුන්වන මධ්‍යස්ථානය ලෙසත්, කළුතර දිස්ත්‍රික්කයේ පළමු මධ්‍යස්ථානය ලෙසත් තල්‌පිටිය “ආරෝග්‍යා සුවතා” මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කළ බව පැවසීය.

වර්තමානයේ සහ අනාගතයේ ජනතාව මුහුණ දෙන සෞඛ්‍ය අභියෝග ජයග්‍රහණය සඳහා කටයුතු කළ යුතු බව පැවසූ අමාත්‍යවරයා පසුගිය කාලයේ සෞඛ්‍ය අමාත්‍යාංශය මෙරට සෞඛ්‍ය සේවාවේ තෘතීයික සහ ද්විතීයික ආයතන ශක්තිමත් කිරීමට යොදවන ලද අවධානය ප්‍රාථමික සෞඛ්‍ය සේවාව නඟා සිටුවීමට යොදවා නොමැති බව ද අවධාරණය කරන ලදි.

ගොඩනැගිලි ඉදිකරමින් දේශපාලන වාසි ලබාගැනිමට වඩා වර්තමානයේ  ප්‍රාථමික සෞඛ්‍ය සේවාව නගා සිටුවමින් සහ සෞඛ්‍ය සේවා ලබාගැනීමට ජනතාවට ප්‍රවේශය පහසු කරවමින්, ජනතාවගේ සෞඛ්‍ය රැකබලා ගන්නා, ජනතාවගේ සෞඛ්‍යයට වගකියන නව ක්‍රමවේදයක් තුළ සෞඛ්‍ය මධ්‍යස්ථාන පිහිටුවීමට කටයුතු කිරීම කාලෝචිත බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

වර්තමාන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බෝනොවන රෝග සහ වැඩිහිටි ජනගහනය ඉහළයාම ප්‍රධාන අභියෝග දෙකක් බවත්, එම අභියෝග ජයග්‍රහණයට මෙතැන් සිටම වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව පැවසූ අමාත්‍යවරයා බෝවන රෝග වලට මුහුණ දීමට දැනට තිබෙන රෝහල් පද්ධතිය ප්‍රමාණවත් වුවාට බෝනොවන රෝග, වැඩිහිටි ජනගහනය, මානසික සෞඛ්‍ය සහ පෝෂණය ආදී ප්‍රධාන සෞඛ්‍ය අභියෝග වලට මුහුණ දීමේ දී පුරවැසියා දක්වා ප්‍රවේශ විය හැකි නව ක්‍රමවේදයක් අත්‍යවශ්‍යව තිබූ බවත්, මෙම ව්‍යාපෘතිය යටතේ එම අවශ්‍යතාව සපුරාලන බව ද පෙන්වා දෙන ලදි.

මෙම වැඩපිළිවෙල තුළින් රෝග කල්තියා හදුනා ගැනීමට ප්‍රමුඛතාවය ලබාදෙන බවත්, එමගින් රෝග වළක්වා ගැනිම සහ මුලික අවස්ථාවේ ම ප්‍රතිකාර සඳහා රෝගීන් යොමු කිරිමට පියවර ගන්නා බව ද අවධාරණය කරන ලදි.

ජනතාවට වඩාත් සමීප, පහසුවෙන් ප්‍රවේශවිය හැකි ස්ථානයක ස්ථාපිත කරන මෙම  ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර මධ්‍යස්ථානය “ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන” ලෙස නම් කර ඇති අතර නව රජයේ “සුවපත් රටක් උදෙසා” (HEALTHY SRI LANKA) නව්‍ය වැඩසටහන යටතේ ක්‍රියාත්මක වේ.

බෝ නොවන රෝග සදහා ප්‍රතිකාර සහ උපදේශන සේවා, මූලික ශල්‍ය වෛද්‍ය ප්‍රතිකාර, වැඩිහිටි සත්කාර, පුනරුත්ථාපන සත්කාර, සහන සත්කාර, ප්‍රාථමික අක්ෂි සත්කාර, මුඛ සෞඛ්‍ය සත්කාර, මානසික සෞඛ්‍ය සත්කාර සහ උපදේශන සේවා , පෝෂණ  සත්කාර සහ උපදේශන සේවා, මධ්‍යසාර පුනරුත්ථාපන සේවා මෙන් ම උපදේශන, තරුණ හා යොවුන් සත්කාර සේවා, තෝරා ගත් රසායණාගාර පරීක්ෂණ, ප්‍රජා බල ගැන්වීම ඇතුළුව  ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර සේවා රාශියක්  මෙම මධ්‍යස්ථානය තුළින් ජනතාවට ලබා දීමට නියමිතය.