Thursday, September 18, 2025
Follow Us
පහුගිය අතීතයටම සමු දෙනවා
අම්මටත් හොරෙන්
රෙදි බෑග් එක පැක් කරන්
ගෙයින් එළියට පැන්නෙ
තාත්තා නිදි අතරෙ ....
අපි යමු
කවිදු කිව්ව සැනින්
මන් බයික් එකට නැග්ගා...
අම්මෙ මේ විදූෂා
මගෙ වයිෆ්
යාලුවොන්ගෙ පිහිටෙන් අපි බැඳලා
එයාගෙ ගෙදරට ආවා..
හිනාවක් කතාවක් නැති
ඒ මූණෙ
කැමැත්තක් තිබුන බව පේන්න තිබුන්නෑ...
උඹටත් කන්න දෙන්නෙ අපි
තව ගෑණියෙකුත් ගෙනාවද
කවිදුගේ අම්මා රහසින් කිව්වත්
මට හොඳට ඇහුනා..
මේ මගේ කාමරය
මන් සතුටින් එයාගෙ කාමරේ ඇවිද්ද ...
දවස් සති පහුවුනා
බැඳලා මාස දෙකකුත් උනා
එයාගෙ අම්මා තාත්තා නංගි
නිතරම ඇනුම්පද කිව්වා...
කවිදු දැන් වත්
ස්තීර ජොබ් එකක් කරන්නකෝ
ඇනුම්පද අහලම බැරි තැන මං කිව්වා...
යකෝ මේක මල කරුමයක් උනානේ
සුන්දර කතා කිය කිය
ආදරය ගැන හීන පෙන්නපු
ඒ කටින් දෝෂාරෝපණ පනින්න
මාස දෙකක් ගියේ නෑ...
කවිදුවෝ වරෙන් යන්න
එයා යාලුවො
කතා කරපු සැනින් ගියා..
මොන දේ කරත්
හොඳක් පෙනුන් නැති ඒ ගෙදර
මන් හොඳටම තනි වුනා....
ඩයල් කරේ අම්මගෙ නම්බර් එක
එකම කෙල්ල
රජ සැප දීලා හැදුවේ..
අම්මා මං...
උඹේ අම්මෙක් මෙහෙ නැහැ
තියපන් පෝන් එක
ආය දෙයක් කියන්න කලින්
කෝල් එක කට් උනා...
කදුළු කොයිතරම් ගැලුවද
කොයිතරම් වෙලා ඇඩුවද කියලා
මට ම තේරුම් ගියේ
නැන්දම්මා ගෙ හඬට...
නෝනාහාමු වගේ ඉන්නවා
අපිද දන්නෑ රෑට උයන්න ඕන .
ඒ හඬට මන් කුස්සියට ගියේ ...
කවිදු ඔයා අදත් බිව්වාද
අහන්න කලින්.
ඒ අත ආවේ මගෙ කම්බුලට..
තෝ කවුද මන් කරන ඒවා හොයන්න
අම්මා තාත්තා ගෙන් වත්
නියපිටින් පාරක් කාපු නැති මන්
කවිදුගෙන් නොසෑහෙන්න ගුටි කෑවා...
ඒ මදිවට බඩකුත් හදාගෙනද
නැන්දම්මා බැන්නෙ
නූපන් දරුවා කුසට ආවට ....
කීපාරක් ඇහුවද ජොබ් එකක් කරන්න.
ඒත් කවිදු යන්න දුන්නෙම නෑ..
මෝරපු නැති කුසත් එක්ක
හූල්ලනවා ඇරෙන්න
වෙන කරන්න දෙයක් නෑ...
මහවුන් බලන්නෙත් නෑ
කරුම අපිම කර ගහන්න ඕන
කලන්තෙ හැදිලා වැටුන වෙලාවක
සිහිය එනකොට ඒ වචන ටික ඇහුනා...
දරු පැටියා ලැබෙන්න ගිහින්
නොවිදිනා දුක් විදිනකොට
මැවි මැවී අම්මව පෙනුනා...
දරු පැටියා හම්බවෙලා සතියයි
අම්මයි නංගියි ගෙදරින් ගියේ
කවිදුගෙ අක්කා අසනිපෙන් කියලා ඒ ගෙදර ..
කවිදු දරුවා නාවන්න උදව් වෙන්නකෝ
මට තනියම බය නිසා කිව්වෙ
ඔය මගුල් මට තේරෙන්නෑ
මන් යනවා
අද රෑ යාලුවො එක්ක සිරීපාදේ යන්න ඕන ..
කවිදු එහෙම කියනකොට
මට හයියෙන් ඉකි ගැහුනා
දෙමාපියන් එපා කියලා
විස්වාස කරලා ආපු මනුස්සයා ....
ඉදකිං..හොඳ ගමනක් යනකොට
අඬනවා මූසල කමට
එහෙම කියලා එයා
රෙදි ටිකත් අරන් යන්න ගියා....
නොනවත්වා අඬන පුංචි පුතාව
නළවගන්න බැරුව
මාත් හයියෙන් ඇඬුවා...
අම්මගෙ නම්බර් එකට ඩයල් කරේ
බැන්නත් ඒ හඬ අහන්න ඕන නිසා...
අම්මා ආන්සර් කරනවා එක්ක
මන් මහ හයියෙන් ඇඩුවා
පෝන් එක කට් උනේ
පව තව ගෙවන්න තියනවා කියලා හිතන්...
වෑන් එකක් නවත්තන සද්දයක් ඇහුනම
බයටම අඬන පුංචි එකාවත්
තුරුළු කරන් ඇඳේ මුල්ලකට ගුලි උනේ...
දෝණි ...
තාත්තා ගෙ හඬ
හරියටම අවුරුදු දෙකකින්...
දුවලා ගිහින් දොර ඇරලා
ඒ පපුවට තුරුළු උනේ දරුවත් එක්කම...
එන්න යමු..
අම්මා දරුවා වඩා ගන්න කොට
තාත්තා මාව හරහට වඩා ගත්තා..
මගෙ කෙල්ල
කවදාවත් මට බරක් නෙමෙයි නෝනා ..
තාත්තා අම්මට කිව්වේ එහෙම...
පහුගිය අතීතයටම සමු දෙනවා හිතන්
මන් තාත්තා ගෙ පපුවෙන්
ඔලුව තිබ්බෙ
කවිදු වගේ තාත්තෙක්
මගෙ දරුවට කවදාවත් එපා සිතමින්....
 
M.N.සඳූ Basnayake✍️