Friday, August 22, 2025
Follow Us
කොළඹ වරායේ නැව් තෙල් වෙළදාමට අවශ්‍ය පහසුකම් පුළුල් කෙරේ

ඛණිජ තෙල් සංස්ථාව හා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම එක්ව කොළඹ වරායේ නැව් තෙල් වෙළදාමට අවශ්‍යය නල පද්ධති හා පහසුකම් පුළුල් කර ඇත.

ඛණිජ තෙල් සංස්ථාව මෙරට නැව් තෙල් වෙළදාමේ යෙදෙන පුද්ගලික සමාගමක් හරහා නැව් තෙල් ලබාදීම ප්‍රථම වරට අද (22) සිදු කෙරුණි.

කොළඹ වරාය දකුණු ජැටියේ සංවර්ධනය කළ නව නල පද්ධතිය හා තෙල් නැව්ගත කිරීමේ පහසුකම ඔස්සෙ මෙය සිදු කෙරුණි.

කොළඹ වරායේ නැව් තෙල් වෙළදාමට අවශ්‍ය නළ පද්ධති හා තෙල් නැව්ගත කිරීමේ පහසුකම් සීමිත වීම නිසා තෙල් වෙළදාමට ඇතිව තිබූ බාධාකාරී තත්වය ඉවත් කිරීම පිණිස නව රජය විසින් කළ විශේෂ සැළසුමක පළමු අදියර ලෙස ඛණිජ තෙල් තොග පර්යන්ත සමාගම මෙම පහසුකම් පුළුල් කර ඇත.

මෙම සුවිශේෂී අවස්ථාවට එක්වූ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා -
 “මෙතෙක් කොළඹ වරායේ නැව් තෙල් සැපයීම කෙරුණේ ඩොල්පින් ජැටිය මාර්ගයෙන් විතරයි. ඒත් රටට තෙල් ගොඩබෑම් කටයුතුත් සිදු වුණේ එම ජැටියෙන් වීම නිසාම නැව් තෙල් සැපයුමට බාධා සිදු වුණා. ඒක නැව් තෙල් වෙළදාමට තිබුණු ලොකු බාධාවක්. අපි මේ තත්වය හදුනාගෙන වරායේ දකුණු ජැටිය හරහා නැව් තෙල් සපයන්න අතුරු නළ මාර්ගයක් හදලා පහසුකම් වැඩි දියුණු කලා. අද ඒ අනුව මුල්ම තෙල් තොගය දකුණු ජැටියෙන් සැපයීම සිදු කලා. ඒක නැව් තෙල් වෙළදාම වර්ධනය කරන්න ගත්ත එක් පියවරක් වශයෙන් හදුන්වන අතරම අපේ රට කලාපයේ නාවුක කේන්ද්‍රස්ථානයක් කරන රජයේ වැඩපිළිවෙලේ  එක් සන්දිස්ථානයක් හැටියට හදුන්වන්න කැමතියි යැයි පැවසීය. තවද බලශක්ති අමාත්‍යංශයත් ඒ යටතේ ඇති ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සහ ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම යන ආයතනත් වරාය හා සිවිල් ගුවන් සේවා ආමාත්‍යාංශය හා ඒ් යටතේ ඇති ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඉතා සහයෝගයෙන් එක්ව කටයුතු කරන බවත් සංවර්ධන කටයුතු සහ ඉලක්ක ජයගැනීමට එය ඉතා වැදගත් වන බවත් ප්‍රකාශ කලේය.”

මෙම අවස්ථාවට බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි, වරාය හා ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු, ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ හා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති ජනක රාජකරුණා, එහි කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර යන මහත්වරුන් සමග ඉහත ආයතනවල ඉහළ නිලධාරීන් රැසක්ද සහභාගී වූහ.