Friday, August 15, 2025
Follow Us
බෙල්ලන්විල ඇසළ පෙරහැරට වසර 75 ක් පිරීම නිමිත්තෙන් විශේෂ මුද්දරයක් සහිත විශේෂ සමරු කවරයක් නිකුත් කෙරේ
මුද්දර එකතුකිරීම ප්රචලිත කිරීම සදහා තැපැල් දෙපාර්තමේන්තුවෙන් විශේෂ වැඩසටහනක්.
 
බෙල්ලන්විල ඇසළ පෙරහැරට මෙම වර්ෂයේ දී 75 වසර ක් සපිරීම අරමුණු කර 75 වන සංවත්සරය වෙනුවෙන් විශේෂ සමරු මුද්දරයක් සහ විශේෂ සමරු කවරයක් බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නායක ස්වාමීන්වහන්සේගේ අනුශාසනා මධ්යයේ සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන් බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ දී පසුගිය දා නිකුත් කෙරිණි.
1950 වර්ෂයේ සිට අඛණ්ඩව පවත්වාගෙන එන ඇසළ පෙරහැරේ මෙන්ම බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ ඉතිහාස වංශකතාව පිළිබිඔු වන පරිදි ඉතා නිර්මාණාත්මක ආකාරයෙන් මෙම සමරු මුද්දරය සහ සමරු කවරය නිර්මාණය කරඇති අතර ශ්රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යංශය මගින් එය නිකුත් කිරීමට පියවර ගෙන තිබුණි.
 
මෙම විශේෂ සමරු මුද්දරය සහිත විශේෂ සමරු කවරය සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා විසින් බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නායක ස්වාමීන්වහන්සේට මෙහි දී පිරිණමන ලදී.
 
සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා බෙල්ලන්විල ඇසල පෙරහැර මෙරට ඉතිහාසයට වටිනාකමක් එක්කල පෙරහැරක් බව අවධාරණය කළ අතර එය සංස්කෘතියේ වැදගත් අංගයක් ලෙස ද හැදින්විය හැකි බව මෙහි දී පැවසී ය.
 
බෙල්ලන්විල රාජමහා විහාරයේ විහාරාධිපති ලෙස වැඩසිට අපවත්වී වඳාල බෙල්ලන්විල ශ්රී සෝමරතන නාහිමිපාණන් වහන්සේ විසින් 1950 වසරේ දී ආරම්භ කරන්නට යෙදුන බෙල්ලන්විල ඇසළ පෙරහැර 75 වසරක් අඛණ්ඩව පවත්වාගෙන එන බව පැවසූ අමාත්යවරයා නායකහිමියන් එයට විවිධ අංග එකතුකරමින් මෙරට ජාතික මට්ටමේ පෙරහැරක් බවට පරිවර්තනය කල බව ද සිහිපත් කලේ ය.
අද දින නිකුත් කරන ලද මුද්දරය ඉතිහාසයට එක්වීමේ දී එහි වටිනාකම තවත් වැඩි වන බව පැවසූ අමාත්යවරයා දරුවන් තමන්ගේ අධ්යපන දැනුම වර්ධනය කරගැනීම සදහා මුද්දර එකතු කිරීමට යොමුවී ඇති බව ද අවධාරණය කර සිටියේ ය.
තැපැල් දෙපාර්තමේන්තුවේ ප්රධානීන් ප්රමුඛ කාර්ය මණ්ඩලය විසින් මුද්දර එකතුකිරීම ප්රචලිත කිරීම සදහා විශේෂ වැඩසටහන් මේවන විට ක්රියාත්මක කරමින් සිටින බව ද වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්යවරයා මෙහි දී පැවසී ය.
 
බෙල්ලන්විල ඇසල පෙරහැර මංගල්යය ජූලි 30 වන දින සිට අගෝස්තු 17 වැනිදා දක්වා පැවැත්වෙන අතර අගෝස්තු 16 වැනිදා රාත්රියේ සිවිමහා දේවාල පෙරහැරවල් සමගින් දර්ශනීය රන්දෝලි පෙරහැර වීථි සංචාරය කිරීමට නියමිතය. අගෝස්තු 17 වැනිදා පෙරවරුවේ දී දිය කැපීමෙන් අනතුරුව කෙරෙන වත්පිළිවෙත් වලින් පසු පෙරහැර මංගමංගල්යය අවසන් වේ.