දියතලාව ආයුර්වේද රෝහල ඌව පළාතේ සෞඛ්‍ය සේවාවට පමණක් නොව සියලු කටයුතු සඳහා මධ්‍යස්ථානයක් බවට පත් විය යුතුයි...
මෙරට රාජ්‍ය හා පෞද්ගලික සියලු අංශ හුදෙකලාව කටයුතු නොකර ඒකාබද්ධව කටයුතු කිරීම තුළින් ඉදිරි අභියෝගය ජයගත හැකි යි...
- සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස -
ඌව පළාතේ ආයුර්වේද ප්‍රතිකාර සේවාවේ අද්විතීය සේවාවක් ඉටු කරන දියතලාව පළාත් ආයුර්වේද රෝහලේ 50 වන සංවත්සරය වෙනුවෙන් පවත්වන ලද සැමරුම් උත්සවය අද (15) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද මහතාගේ ප්‍රධානත්වයෙන් රෝහල් පරිශ්‍රයේ දී පැවැත්විණි.
මෙහිදී 50 සංවත්සර උත්සවය වෙනුවෙන් ප්‍රදේශයේ ජනතාවට ආයුර්වේද වෛද්‍ය ක්‍රම සහ ප්‍රතිකාර පිළිබදව දැනුවත්භාවය ලබාදීම සදහා රෝහල් පරිශ්‍රයේ පැවැති ආයුර්වේද - 2025 ප්‍රදර්ශණය ද විවෘත කළ සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රදර්ශණයේ ආයුර්වේද ප්‍රදර්ශණ කුටි සිය නිරීක්ෂණයට ලක් කළ අතර ආයුර්වේද රෝහලේපැවැත්වෙන සායන වන ශ්වසන /කාස/පීනස් රෝග ,උගුර/කන/නාසා රෝග , මානසික රෝග, කැඩුම් බිඳුම්, ගුදගත රෝග, ස්ත්‍රී රෝග, කටු චිකිත්සා, පක්ෂාඝාත/සන්ධිගත වාත රෝග, ළමා රෝග චර්ම රෝග, අම්ලපිත්ත, මධුමේහ සායන මෙන්ම ප්‍රජා පාදක ප්‍රතිකාර ඒකකය, පංචකර්ම ප්‍රතිකාර ඒකකය, ප්‍රතිකාර වාට්ටු, ගෙවන වාට්ටු ඇතුළු ප්‍රතිකාර සේවාවන් ද සිය නිරීක්ෂණයට ලක් කරන ලදි.
කුඩා වෛද්‍ය මධ්‍යස්ථානයක් ලෙස ආරමිභ ව දියතලාව පළාත් ආයුර්වේද මහා රෝහල දක්වා රෝහල දිගු ගමනක් පැමිණ ඇති බව පැවසු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා රෝහල ආරම්භයේ සිට මේ දක්වා රෝහලේ සංවර්ධනය වෙනුවෙන් කටයුතු කළ දේශපාලන නායකත්වය, වෛද්‍යවරුන්, අධ්‍යක්ෂවරුන් ඇතුලු සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල අගයන බවත්, සිය ප්‍රණාමය පුද කරන බවත් ප්‍රකාශ කරන ලදි.
වතු ආශ්‍රිත ජනතාව කේන්ද්‍ර කර ගනිමින් සහ බෝවන රෝග පාලනය ඉලක්ක කර ගනිමින් ගොඩනැගුණ මෙරට සෞඛ්‍ය සේවාව වර්තමානයේ සෞඛ්‍ය අභියෝගයන් ව ඇති වැඩිහිටි ජනගහනය, බෝ නොවන රෝග, මානසික රෝග, පෝෂණය යන තත්ත්වයන් ඉලක්ක කර ගනිමින් සියලු ජනතාවගේ සුවතාවය සඳහා පරිවර්තන විය යුතු බව ද පැවසීය.
සෞඛ්‍ය සේවාව මෙන්ම සංචාරක, ආර්ථික ක්ෂේත්‍ර ද ශක්තිමත් කිරීමට ආයුර්වේද වෛද්‍ය සේවාව හරහා මහත් ශක්තියක් ලබා දිය හැකි බවත්, දියතලාව ආයුර්වේද රෝහල ඌව පළාතේ සෞඛ්‍ය සේවාවට පමණක් නොව සියළු කටයුතු සඳහා මධ්‍යස්ථානයක් බවට පත් විය යුතු බව ද පැවසීය.
මෙරට රාජ්‍ය හා පෞද්ගලික සියළු අංශ හුදෙකලාව තම තමන්ගේ අංශ සහ ඒකක සංවර්ධනයට පමණක් කටයුතු නොකර ඒකාබද්ධව කටයුතු කිරීම තුළින් ඉදිරි අභියෝගය ජයගත හැකිවනු ඇතැයි ද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.
දියතලාව පළාත් ආයුර්වේද මහ රෝහලේ සේවා කාර්යක්ෂම කිරීමේ අරමුණින් රෝහලේ වෙබ් අඩවිය ද මෙහිදී අමාත්‍යවරයා අතින් නිළ වශයෙන් දියත් කරන ලද අතර, ඒ අනුව රෝහලේ බාහිර රෝගී අංශය ද ඩිජිටල් සේවාවක් බවට පත් කෙරිණි.
1975 දින දියතලාව පළාත් ආයුර්වේද මධ්‍යස්ථානය ආරම්භ කර ඇති අතර, 1983 දී, ආයුර්වේද රෝහලක් ලෙස නැවත ස්ථාපිත කර ඇත. හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොටිථාසයේ පිහිටි ඌව පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ දියතලාව පළාත් ආයුර්වේද මහ රෝහල පාලනය වේ.
වර්තමානයේ, රෝහල පංචකර්ම ප්‍රතිකාර වාට්ටු සංකීර්ණයකින් සහ රෝගීන්ට ගාස්තු ගෙවන පදනම මත ප්‍රතිකාර ලබා ගත හැකි ගෙවන වාට්ටු සංකීර්ණයකින් සමන්විත වේ. හදිසි ප්‍රතිකාර ඒකකයක් සහ ආයුර්වේද රූපලාවන්‍ය ඒකකයක් ද ස්ථාපිත කර ඇති අතර, විවිධ විශේෂිත සායන රැසක් ද රෝහල තුළ පවත්වනු ලැබේ.
2023 සිට දිවා ප්‍රතිකාර ඒකකයක් (DTU) සහ ගාස්තු ගෙවන පංචකර්ම ප්‍රතිකාර ඒකකයක් ද ස්ථාපිත කර ඇති අතර, 2025 වසරේ දී මානසික සෞඛ්‍ය සේවා සැපයීම සඳහා ළමා හා නව යොවුන් වියේ මානසික සෞඛ්‍ය සඳහා උපදේශන මධ්‍යස්ථානයක් ද ආරම්භ කරමින් ඌව පළාතේ සහ අවට ජනතාවට ආයුර්වේද ප්‍රතිකාර අංශයෙන් විශාල සේවාවක් සපයනු ලබයි.
මෙම අවස්ථාවට සංචාරයක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන රවීන්ද්‍ර බණ්ඩාර, අම්බිගා සැමුවෙල්, ඌව පළාත් සභාවේ ප්‍රධාන ලේකම් අනුෂා ගෝකුල, ඌව පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් එචි.එමි ජීවන්ත හේරත්, ඌව පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ශ්‍රියා කරුණාරත්න, රෝහල් අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කරන වෛද්‍ය තුෂාරි වන්නිආරච්චි යන මහත්ම මහත්ම මහත්මීන් ඇතුළු රෝහල් හිටපු අධ්‍යක්ෂවරුන් සහ දියතලාව ආයුර්වේද මහ රෝහලේ කාර්ය මණ්ඩලය එක් ව සිටියහ.