දඩ ගෙවීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම තුළින් විනයගරුක රියදුරෙක් නිර්මාණය කරන බවත්, එහි එක් යෝජනාවක් වශයෙන් රියදුරන් හට ලකුණු ලබාදීමේ ක්‍රමයක් හඳුන්වාදීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
රජයේ ඩිජිටල්කරණ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කරනු ලබන රථවාහන වැරදි සඳහා දඩ මුදල් ගෙවීම පහසු කරලීමේ අරමුණින් හඳුන්වා දුන් ස්ථානීය දඩ අයකර ගැනීමේ ක්‍රමවේදය බස්නාහිර පළාතට හඳුන්වාදීම සඳහා ඊයේ(28) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙහිදී මෙම දඩ ගෙවීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීමත්, විනයගරුක රියදුරෙක් නිර්මාණය කිරීම තුළින් මාර්ග අනතුරු අවම කර ගැනීම වැනි අරමුණු කෙරෙහිද අවධානය යොමු කර ඇත. එකී විනයගරුක රියදුරෙක් නිර්මාණය කර ගැනීම සඳහා වන එක් යෝජනාවක් වශයෙන් රියදුරන් හට ලකුණු ක්‍රමයක් හඳුන්වාදීම තුළින් විනය ගරුක ලෙසින් රිය පැදවීමට අවශ්‍ය නියාමනය සිදු කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වේ.
මෙම ව්‍යාපෘතිය මහජන ආරක්ෂක අමාත්‍යංශයේත්, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේත්, ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේත් ඒකාබද්ධ ක්‍රියාකාරීත්වය මත මෙම වැඩසටහන ක්‍රියාත්මකකෙරේ.
මෙම අවස්ථාවට මහා මාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාත් ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතාත් වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාත් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ