විදෙස් පුහුණුව ලබා මෙරටට පැමිණෙන විශේෂඥ වෛද්යවරු රට හැර නොයා මෙරට රැඳී සිටීමේ ප්රවණතාවයක් දක්නට ලැබෙන බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යවරයා පවසයි.
සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පසුගිය දා නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්රික්කයේ රෝහල් සහ සෞඛ්ය ආයතනවලින් ජනතාවට ලබාදෙන සෞඛ්ය සේවාවන් හි වත්මන් තත්ත්වයන් පිළිබද විශේෂ නිරීක්ෂණයක නිරත වෙමින් මඩකලපුව දිස්ත්රික්කයේ එරාවූර් රෝහලේ විශේෂ නිරීක්ෂණයක නිරත විය.
මෙහි දී අමාත්යවරයා කියා සිටියේ විදෙස් පුහුණුව ලබා මෙරටට පැමිණෙන සමහර විශේෂඥ වෛද්යවරුන් පළමු පත්වීම උතුර නැගෙනහිර වැනි දුරබැහැර ප්රදේශවලට ලබාදුන් පසු නැවැත විදෙස්ගත වන බවයි. ආණ්ඩුව බාරගන්නා අවස්ථාවේ සියයට 70 ක් පමණ වූ එම තත්ත්වය මේ වන විට අඩුවීමක් පෙන්නුම් කරන බවත්, විදෙස්ගත නොවී මෙරට නතර වීම සියයට 60 –70 දක්වා අගයක් ගන්නා බවත් එය සුභදායි ප්රවණතාවයක් බවත් අමාත්යවරයා මෙහිදී පැවසීය.
විශේෂඥ වෛද්ය හිඟයක් පවතින මෙරට විශේෂඥ වෛද්යවරු සිටිනුයේ 2000 ක පමණ පිරිසක් බැවින් විශේෂඥ පුහුණුවට විදෙස්ගතව සිටින සියලු විශේෂඥ වෛද්යවරු මෙරටට පැමිණ දුරබැහැර ප්රදේශවල තිබෙන රෝහල්වල පවා සේවය කරනු ඇති බවට තමන් විශ්වාසය පළ කරන බවත්, අවශ්ය සියලු පහසුකම් ලබාදෙමින් එම විශේෂඥ වෛද්යවරුන් මෙරට රඳවා ගැනීම සඳහා රජය සුදානම් බව ද අවධාරණය කළ අමාත්යවරයා එමගින් මෙරට විශේෂඥ වෛද්ය ගැටලුව කඩිනමින් විසදිය හැකි වනු ඇති බව ද පෙන්වා දුන්නේය.
ලක්ෂයකට අධික ජනතාවකට සෞඛ්ය සේවාව සපයනු ලබන එරාවුර් රෝහල ප්රදේශයේ අවශ්යතාවයන් අනුව මුලික රෝහලක් ලෙසට උසස් විය යුතු බවත්, පහසුකම් සහිත නව ගොඩනැගිලක් ද රෝහලට ලැබී තිබෙන බැවින් දුෂ්කරම අභියෝගය වන රෝහලට අවශ්ය මානව සම්පත ලබාදීම සිදු කළ යුතුව බව ද අමාත්යවරයා මෙහිදී පැවසීය.
රෝහල්වල පවතින පැරණි පුරප්පාඩු ලේඛනය මේ වසරේ යථාවත් කිරීමට කටයුතු කරන බව ද අමාත්යවරයා මෙහි දී වැඩිදුරටත් අවධාරණය කළේය.