Saturday, July 19, 2025
Follow Us
කාලගුණ විපර්යාසයෙන් කළුතර ධීවරයෙක් අතුරුදන්, ධීවර කටයුතු වලින් වැළකී සිටින්නැයි ධීවර ප්‍රජාවට දැනුම්දීමක්

දිවයින වටා අද (19)  පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වූ මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතු වල නොයෙදෙන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සියලුම ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම නිවේදනයන්ට අනුව, මෙම මුහුදු ප්‍රදේශ ඉදිරි දින කිහිපය තුළ රළු විය හැකි බවට අනතුරු අඟවා ඇත.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා සඳහන් කළේ, ඊයේ (ජූලි 18) පෙරවරු 10:00 ට නිකුත් කරන ලද කාලගුණ නිවේදනයට අනුව, වෙරළාසන්නයේ ධීවර කටයුතු වල නිරත වන එක්දින කුඩා යාත්‍රා සහ OFRP යාත්‍රා සඳහා නැවත දැනුම් දෙන තුරු පුත්තලම සිට කොළඹ, ගාල්ල හා හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වූ ප්‍රදේශවල ධීවර කටයුතු වලින් වැළකී සිටින ලෙස දැනුම් දුන් බවයි. අද (ජූලි 19) දිනට අදාළව නිකුත් කර ඇති කාලගුණ නිවේදනයන් දැක්වෙන්නේ මෙම මුහුදු ප්‍රදේශවල මුහුදේ ස්වභාවය රළු විය හැකි බවයි.

මෙම දැනුම්දීම් නොතකා, ඊයේ සවස් වරුවේ ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවර යාත්‍රා කිහිපයක් ගැටලුවලට මුහුණ දී ඇති බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය. හලාවත ප්‍රදේශයේ එක් ධීවර යාත්‍රාවක් අනතුරට පත්වී ඇති නමුත්, එහි සිටි ධීවරයින්ට කිසිදු හානියකින් තොරව ගොඩබිමට පැමිණීමට හැකි වී තිබේ. තවත් යාත්‍රා කිහිපයක් නියමිත වේලාවට වඩා ප්‍රමාද වී ගොඩබිමට පැමිණ ඇති අතර, එක් යාත්‍රාවක් තවමත් ගොඩබිමට පැමිණ නොමැත. කෙසේ වෙතත්, එම යාත්‍රාවද ඉක්මනින් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කොළඹ ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා ගිය ධීවර යාත්‍රා පහක් පමණ අයහපත් කාලගුණ තත්ත්වයෙන් ආරක්ෂා වීම සඳහා පෝට් සිටි (Port City) තුළට ඇතුළු කර ඇත.

අවාසනාවන්ත සිදුවීමක්

කළුතර දිස්ත්‍රික්කයෙන් ජූලි 15 වන දින මුහුදට ගිය බහුදින ධීවර යාත්‍රාවක කාර්මිකයෙකු ජූලි 19 වන දින අලුයම 1.30 ට පමණ මුහුදට වැටී ඇති බවට වාර්තා වේ. අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් යාත්‍රාව නැවත ගොඩබිම බලා පැමිණෙමින් සිටියදී මෙම සිදුවීම සිදුවී ඇත. මෙතෙක් ඔහුව සොයා ගැනීමට නොහැකි වී ඇති අතර, ශ්‍රී ලංකා පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන පරිදි, ඉදිරි දින කිහිපය තුළද අයහපත් කාලගුණ තත්ත්වය පැවතිය හැකිය. පුත්තලම සිට පොතුවිල් දක්වා වූ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60-70 දක්වා වැඩි වීමේ අවදානමක් පවතින අතර, මුහුදු රළ මීටර් 2.5 - 3 දක්වා ඉහළ යා හැකි බවටද අනතුරු අඟවා ඇත. මෙවැනි තත්ත්වයන් කුඩා ධීවර යාත්‍රා සඳහා ආරක්ෂාකාරී නොවේ.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව කාලගුණ තත්ත්වය යහපත් වූ වහාම ධීවර කටයුතු සඳහා අවසර ලබා දෙන බවට පොරොන්දු වෙයි. එතෙක්, ධීවර දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන නිවේදන සහ දැනුවත් කිරීම් පිළිබඳව විමසිල්ලෙන් සිටින ලෙසත්, ඒ අනුව කටයුතු කරන ලෙසත් සියලුම ධීවර ප්‍රජාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

පුත්තලම සිට ත්‍රිකුණාමලය දක්වා උතුරු ප්‍රදේශවල සිටින ධීවරයින්ද ධීවර කටයුතු සඳහා යාමේදී මුහුදේ ස්වභාවය සහ කාලගුණ තත්ත්වය පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන ලෙස දැනුම් දෙයි.