Friday, July 18, 2025
Follow Us
අම්පාරේ ධීවර ප්‍රජාවගේ ගැටලුවලට ක්ෂණික විසඳුම්

අම්පාර දිස්ත්‍රික්කයේ ධීවර ගැටලු කඩිනමින් හඳුනාගෙන, ඒවා නිරාකරණය කිරීම සඳහා අදාළ සියලු ආයතන හා ප්‍රාදේශීය බලධාරීන් සම්බන්ධ කර ගනිමින් කටයුතු කිරීමට පියවර ගන්න බව ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පැවසීය.

නියෝජ්‍ය අමාත්‍යවරයාගේ  ප්‍රධානත්වයෙන්, 13 වන දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකරණ කමිටු රැස්වීම පසුගියදා (16) අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති අතර ප්‍රාදේශීය ධීවර ප්‍රජාවගේ ගැටලු කඩිනමින් විසඳා, ඔවුන් නිෂ්පාදන ආර්ථිකයට සම්බන්ධ කර ගනිමින්, ඉන් ලැබෙන ආදායම සාධාරණව සියලු දෙනා අතර බෙදී යන බව සහතික කිරීම මෙම රැස්වීමේ ප්‍රධාන අරමුණ විය.

හඳුනාගත් ප්‍රධාන ගැටලු සහ විසඳුම්:

ජලාශවල සැල්වීනියා වැනි ජලජ පැළෑටි පැතිරීම: බොහෝ ජලාශවල සැල්වීනියා වැනි ජලජ පැළෑටි තැන්පත් වී ජලාශවල ධාරිතාව අඩුවීම නිසා මත්ස්‍ය නිෂ්පාදනයට බලපෑම් එල්ල වී ඇති බව පෙන්වා දුන් අතර  මෙම ජලාශ කඩිනමින් පිරිසිදු කර ධාරිතාව වැඩි කිරීමට පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

වනජීවී දෙපාර්තමේන්තුව සම්බන්ධ ගැටලු: ඇතැම් වනජීවී නිලධාරීන්ගෙන් සිදුවන ගැටලුකාරී තත්ත්වයන් නිසා ධීවර කටයුතුවලට බාධා ඇති වන බවට පැමිණිලි ඉදිරිපත් විය. මෙවැනි තත්ත්වයන් පිළිබඳව අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කර විසඳුම් ලබා දීමට පියවර ගන්නා බවත්, පරිසර සංරක්ෂණය සහ වනජීවී ආරක්ෂාවට අනුකූලව ධීවරයන් කටයුතු කළ යුතු බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

නීතිවිරෝධී ධීවර කටයුතු සහ මත්ස්‍ය අස්වනු සොරකම්: නීතිවිරෝධී ධීවර ආම්පන්න භාවිතය නිසා ධීවර කර්මාන්තයට සිදුවන හානි සහ කල්මුණේ, මඩකලපුව වැනි මායිම් ප්‍රදේශවල සිදුවන මත්ස්‍ය අස්වනු සොරකම් පිළිබඳව ද අවධානය යොමු විය. මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය, නාවික හමුදාව සහ ධීවර දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාමාර්ග ගෙන ඇති බවත්, එමගින් මත්ස්‍ය අස්වනු සොරකම් කිරීම් සැලකිය යුතු ලෙස අඩු වී ඇති බවට සහකාර අධ්‍යක්ෂවරුන් විසින් තහවුරු කළ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඉන්ධන සහ ධීවර ආම්පන්න අවශ්‍යතාවය: පානම සහ පොතුවිල් ප්‍රදේශවල ධීවර කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධන පිරවුම්හල් නොමැතිවීම සහ ඔකඳ, පානම වැනි ප්‍රදේශවල ධීවර ආම්පන්න සඳහා දැඩි අවශ්‍යතාවයක් පැවතීම පිළිබඳව අවධානය යොමු විය. අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම ප්‍රදේශ සඳහා ඉන්ධන පිරවුම්හල් සහ ධීවර ආම්පන්න අලෙවිසැල් ආරම්භ කිරීම සඳහා රජය සමඟ සාකච්ඡා කර කඩිනමින් කටයුතු කරන බවයි.

බහුදින ධීවර යාත්‍රා සඳහා වරාය පහසුකම්: අම්පාර දිස්ත්‍රික්කයේ බහුදින ධීවර යාත්‍රා සඳහා ධීවර වරායක් නොමැතිවීම ගැටලුවක් ලෙස සාකච්ඡා විය. දැනට පවතින ඔලුවිල් වරාය නිසි ශක්‍යතා අධ්‍යයනයකින් තොරව ඉදිකිරීම නිසා "සුදු අලියෙක්" බවට පත්ව ඇති බවට ධීවර ප්‍රජාව චෝදනා කළහ.

මිරිදිය ධීවරයන්ගේ ප්‍රවාහන පහසුකම්: මිරිදිය ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයන්ට ප්‍රවාහන පහසුකම් සඳහා ඇති බාධා පිළිබඳව අවධානය යොමු විය. වනජීවී උද්‍යාන හරහා ගමන් කිරීමේදී ඇතිවන ගැටලු නිරාකරණය කර, ඔවුන්ට බාධාවකින් තොරව ධීවර කටයුතුවල නිරත වීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන බවට අමාත්‍යවරයා පොරොන්දු විය.

මත්ස්‍ය පැටවුන් තැන්පත් කිරීම සහ මාර්ග පහසුකම්: කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ජලාශවල මත්ස්‍ය පැටවුන් කඩිනමින් තැන්පත් කිරීමටත්, ධීවර ප්‍රජාවට අවශ්‍ය මාර්ග පහසුකම් වැඩිදියුණු කිරීමටත් පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පැහැදිලි කළේය.

නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස නියෝජ්‍ය මහතා, දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, නගරාධිපතිවරුන්, ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, පොලීසිය, නාවික හමුදාව, වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු සියලු පිරිසක් මෙම අවස්ථාවට එක්විය.