Monday, June 30, 2025
Follow Us
මොරටුව වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකය ආරම්භ කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්

මොරටුව  විශ්ව විද්‍යාලයේ වෛද්‍ය සිසුන්ට සායනික පුහුණූව ලබාදීම සඳහා කළුතර ශික්ෂණ රෝහල තුළ මහාචාර්ය ඒකකය ස්ථාපිත කිරීම පිළිබඳ ව මෙන් ම රෝහලේ පවතින ගැටළු කිහිපයක් පිළිබඳ ව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගියදා (28) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය  පීඨයේ සිසුන්ගේ අධ්‍යාපන ගුණාත්මකත්වය සහ සායනික පුහුණුව වැඩිදියුණු කිරීමටත්, අනාගත වෛද්‍යවරුන්ට හා සෞඛ්‍ය වෘත්තීකයන්ට උසස් අධ්‍යාපන හා පුහුණුව ලබාදීමත් මෙන් ම කළුතර ප්‍රදේශය සෞඛ්‍ය අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමත් අරමුණු කර ගනිමින් කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකයක් ස්ථාපනයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මේ වන විටත් කටයුතු දියත් කරමින් සිටියි.

ඊට අදාල සංවර්ධන කටයුතු කළුතර නාගොඩ රෝහල තුළ සහ කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය මුලික කර ගනිමින් මේ වන විටත් ක්‍රියාත්මක අතර, ඒ අනුව මෙම සාකච්ඡාවේ දී එම කටයුතුවලට අදාළ ව පසුවිපරම් කටයුතු, යටිතල පහසුකම්, මානව හා භෞතික සම්පත් කළමනාකරණ මෙන් ම කාර්ය මණ්ඩල කළමනාකරණ කටයුතු පිළිබඳව අවධානය යොමු කරමින් මෙම සාකච්ඡාව පැවැත්විණි.