මෙරට දිවයින පුරා පිහිටි ද්විතීයික හා තෘතීයික රෝහල් 130 ම ආවරණය වන පරිදි සහ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල් ආශ්‍රිතව රාජ්‍ය ඔසුසල් ආරම්භ කරමින් ජනතාවට උසස් ප්‍රමිතියෙන් සහ ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ ඖෂධ සාධාරණ මිලකට ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.
අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ ගුණාත්මක ඖෂධ ජනතාවට දැරිය හැකි, සාධාරණ මිලකට ලබාදීමේ උදාර පරමාර්ථය පෙරදැරි ව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) 65 වන රාජ්‍ය ඔසුසල – නාරාහේන්පිට ශාඛාව අංක 209, කිරුල පාර, නාරාහේන්පිට යන ස්ථානයේ දී විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිණි.
රජය බලයට පත්වීමෙන් පසු ස්ථාපිත කළ තෙවන රාජ්‍ය ඔසුසල ශාඛාව මෙය වන අතර, ගල්කිස්ස හා කිරිබත්‌ගොඩ යන නගරයන් හි අනෙක් ඔසුසල ශාඛා මීට ප්‍රථම ස්ථාපිත කිරීමට පියවර ගැනුණි.
වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සංකල්පයක් මත ජනතා අවශ්‍යතාවය පරිදි දිවයින පුරා රාජ්‍ය ඔසුසල් ශාඛා ස්ථාපිත කිරීමේ විශේෂ වැඩපිළිවෙළට සමගාමී ව මෙම ඔසුසල ද ස්ථාපිත කරන ලදි.
රාජ්‍ය ඔසුසල විවෘත කිරීමෙන් අනතුරුව අදහස් දැක් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සිදු කරනු ලබන ඖෂධ සැපයීමේ ක්‍රියාවලියේ දී යම් යම් ගැටළු අවස්ථාවන්හි දී ජනතාවට අඛණ්ඩව සේවා සැපයිය හැකි ක්‍රමවේදයක් ලෙස ඔසුසල් ශාඛා දිවයින පුරා ආරම්භ කිරීමට පියවර ගන්නා බව පැවසී ය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට වර්තමානයේ පැවරෙන ප්‍රමුඛ අභියෝගයක් වන අඛණ්ඩව ඖෂධ සැපයීමේ ක්‍රියාවලියට උරදීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ද වගකීම බාරගත් බව සඳහන් කළ සෞඛ්‍ය අමාත්‍යවරයා ඖෂධ සැපයීමේ දී සිදු කරන ලද ජවාරම් හා අක්‍රමිකතා හේතුවෙන් මීට වසර 02 කට පෙර ඖෂධ සැපයීමට බාධා එල්ලවන කරුණු ගණනාවක් වූ බවත්, ඖෂධ තොඟ ඇණවුම් නොකිරීම මත නව රජය සෞඛ්‍ය අමාත්‍යාංශය බාරගන්නා විට දැඩි ගැටළු සහගත තත්ත්වයක පැවැති බව ද පැවසී ය. අද වනවිට ද ඖෂධ හිඟයට එම තත්ත්වය ද හේතු වී ඇති බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා පසුගිය කාලයේ ක්‍රියාකලාපය පිළිබඳව නිලධාරීන්ට විමර්ෂණ කටයුතු වල දී කටඋත්තර ලබාදීමට සිදු වූ බවත්, එම හේතුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට බාධා පැමිණිය ද එම විමර්ෂණ ද අඛණ්ඩව සිදු විය යූතු බව ද අවධාරණය කළේය.
පසුගිය කෙටි කාල සීමාව තුළ දී කණ්ඩායමක් ලෙස නිවැරදි තීන්දු තීරණ ගෙන කටයුතු කරමින් දරන ලද ප්‍රයත්නයේ ප්‍රතිඵල ලැබෙමින් පවතින බවත් ක්‍රමාණූකූලව ඖෂධ සැපයීමේ ක්‍රියාවලිය ප්‍රතිස්ථාපනය කරමින් පවතින බව ද එය මෙරට ජනතාවට දැනෙමින් පවතින බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දෙන ලදි.
ඖෂධ මිල දී ගැනීමට 2024 වසරට ම ටෙන්ඩර් 68 ක් පමණක් සිදු කළ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මේ වසරේ පළමු මාස 05 තුළ පමණක් ටෙන්ඩර් 268 ක් සිදු කිරීමට තරම් කාර්යක්ෂම වී ඇතැයි ද අමාත්‍යවරයා මෙහි දී පැවසී ය. ප්‍රසම්පාදන ක්‍රියාවලිය නියමිත කාලය තුළ සිදු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ලබන වසරේ දී රජයේ රෝහල් සදහා අවශ්‍ය ඖෂධ නියමිත පරිදි සහ ඉහළ ගුණාත්මක තත්ත්වයෙන් ම ලබාදීමේ හැකියාව රජයට පවතින බව ද රජයන් සහ රජයන් අතර ඖෂධ ලබාගැනීමේ විශේෂ වැඩපිළිවෙල ද අවසන් අදියරේ පවතින බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.
ඖෂධ ව්‍යාපාරය අධික ලාභ ලබන ව්‍යාපාරයක් බවත්, මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ ජීවිතය ද එම හේතුවෙන් අහිමි වූ බවත් එම ජාවාරම්වල නිරත වූ පරම්පරා වල වර්තමානයේ පිරිස් තවමත් සක්‍රීයව සිටින බවද මෙහිදී පෙන්වා දුන් අමාත්‍යවරයා ඔවුන් රාජ්‍ය ඖෂධ සංස්ථාවට බලපෑම් එල්ල කරන බව ද පැවසීය. මේ දිනවල සමහර දේශපාලන පක්ෂවලට සම්බන්ධ සමහර ඖෂධ සමාගම්වලින් වැටුප් ලබන ඉතා කුඩා කණ්ඩායමක් සැලසුම් සහගතව සාමාජ මාධ්‍ය ද උපයෝගී කර ගනිමින් ඖෂධ සැපයීම ක්‍රියාවලිය විධිමත් කිරීමට කටයුතු කරන අවංක නිලධාරින්ට එරෙහිව කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දෙන ලදි. අවංක නිලධාරීන් අධෛර්යමත් කර ඔවුන් මෙම වැඩපිළිවෙලෙන් ඉවත් කිරීමට සමහර ජාවාරම් කරුවන්ගේ අභිප්‍රාය බවත්, බුද්ධි අංශ වාර්තා ද එය තහවුරු කර ඇති බවද අමාත්‍යවරයා පැවසී ය. ඊට රජය ඉඩ නොතබන බව ද ගුණාත්මක තත්ත්වයෙන් උසස් ඖෂධ රාජ්‍ය රෝහල් පද්ධතියට සපයන අතරම ප්‍රමිතියක් සහිත ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ ඖෂධ සාධාරණ අඩු මිලකට ලබාදීමට මෙම රාජ්‍ය ඔසුසල් ජාලය ව්‍යාප්ත කරන බව ද අමාත්‍යවරයා මෙහීදී වැඩිදුරටත් පැවැසී ය.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය මනුඡ් සී වීරසිංහ මහතා අදහස් දක්වමින් ඉදිරි මාස කිහිපය තුළ මඩකළපුව, කෑගල්ල ත්‍රිකුණාමලය සහ පුත්තලම දිස්ත්‍රික්ක වල තෝරා ගත් ස්ථාන තුළ රාජ්‍ය ඔසුසල් ශාඛා ස්ථාපිත කිරීමට සැලසුම් සකස් කර ඇති බව පැවසී ය.
මෙම රාජ්‍ය ඔසුසල ශාඛාව මගින් ද පලපුරුදු ඖෂධවේදීන්ගේ සේවාව යටතේ, නියම ප්‍රමිතියෙන් යුතු ගුණාත්මක ඖෂධ සාධාරණ මිලකට මිල දී ගැනීමට ජනතාවට හැකියාව ලැබෙන අතර, ඡ්‍යෙෂ්ඨ පුරවැසියන්, ගර්භනී මවුවරුන්, වයස අවුරුදු 05 ට අඩු දරුවන් සදහා සහ “රණවිරු විරුසර” කාඩ්පත් හිමියන් සදහා 5% ක සුවිශේෂි වට්ටමක් සහිත ව ඖෂධ නිකුත් කිරීම ට නියමිතය. සදුදා සිට සිකුරාදා දක්වා පෙරවරු 8.00 සිට රාත්‍රී 10.00 දක්වා සහ සෙනසුරාදා දින පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා රාජ්‍ය ඔසුසල විවෘත ව ඇත.
නවීන තාක්‍ෂණ උපකරණ යොදා ගනිමින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ තත්ත්ව රසායනාගායේ දී අවස්ථා හතරක දී ම පරීක්ෂාවට ලක්කීරීමෙන් පසු ඖෂධ වෙළෙපොළට යොමු කරන බැවින් ජනතාවට විශ්වාසයෙන් යුතුව ඖෂධ ලබාගැනීමට මෙම ශෘඛාවෙන් හැකියාව ලැබෙනු ඇත.
ශ්‍රී ලාංකීය ජනතාවට උසස් තත්වයෙන් යුත් ප්‍රත්‍යක්ෂ ඖෂධ සාධාරණ මිලට ලබාදීමේ ප්‍රමුඛ අරමුණින් මහාචාර්ය සේනක බිබිලේ මහතා විසින් 1971 වර්ෂයේ දී ආරම්භ කළ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වසර 53කට අධික කාලයක් මෙරට ජනතාවට ගුණාත්මක ඖෂධ සාධාරණ මිලට සැපයීම සිදුකරයි.
මෙම අවස්ථාවට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ මෙවන් සම්පත් සුබසිංහ ආරච්චි, සාමාන්‍යාධිකාරිනී අයන්ති අල්විස් යන මහත්ම මහත්මීන්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරුන්, කළමණාකාරවරුන්, අංශ ප්‍රධානීන්, නාරාහේන්පිට ඔසුසල ආශ්‍රිත රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් ද සහභාගි වී සිටියහ.