Thursday, June 26, 2025
Follow Us
විශාඛා විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තු නිල ලාංඡන පැළඳවයි

කොළඹ විශාඛා විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තු සභිකයින් සඳහා නිල ලාංඡන පැළඳවීමේ උත්සවය  පසුගියදා (24) පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මියගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය ජෙරමියස් දියෙස් ශ්‍රවණාගාරයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

මේ සඳහා කොළඹ කලාප අධ්‍යාපන නියෝජ්‍ය අධ්‍යක්ෂ (සැලසුම් හා සමාජ විද්‍යා) හෂිනි විජේවික්‍රම මහත්මිය සහ විශාඛා විද්‍යාලයේ විදුහල්පතිනි මනෝමි  සෙනෙවිරත්න  මහත්මිය ද  සහභාගී වූහ.

මෙහිදී අදහස් දක්වමින්  පාර්ලිමේන්තු මහ ලේකම්වරිය, මෙරට වර්තමාන සමාජ, ආර්ථික, දේශපාලන ක්‍රියාවලිය තුළ කාන්තා දායකත්වය සතුටුදායක වර්ධනයක් අත් කරගෙන ඇති බව පෙන්වා දුන් අතර  ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය සම්බන්ධයෙන්ද  ශිෂ්‍ය පාර්ලිමේන්තු සභිකයින් දැනුවත් කිරීම සිදු කළාය. තවද  ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ අභිනව  මන්ත්‍රීවරියන් ලෙස  තමන්ගේ  පාසැල් දිවියෙන් ලබා ගත් පන්නරයෙන් තව තවත් රටේ ප්‍රධාන ක්ෂේත්‍ර සඳහා කාන්තාවන්ගේ දායකත්වය උපරිමයෙන් ලබා දීමට විශාඛා විද්‍යාලයේ දියණියන්ට හැකි වනු ඇතැයි මහ ලේකම්වරිය සිය සුභාශීංසන එක් කළාය.

මෙම අවස්ථාවට සහභාගි වෙමින්, විශාඛා විද්‍යාලයීය විදුහල්පතිනි මනෝමි සෙනවිරත්න මහත්මිය ප්‍රකාශ කළේ, විද්‍යාලයීය ශිෂ්‍යාවන්ගේ නායකත්ව කුසලතා සම්බන්ධව තමන් අතිශය අභිමානයට පත්වන බවයි. හොඳ නායකයෙකුට නිවැරදි දිශාවකට ගමන් කිරීම සඳහා සහාය වීම පිණිස අනුගාමිකයන්ද කණ්ඩායම් හැඟීමෙන් යුතුව ඒ්කරාශිව සිටිය යුතු බවද සෙනවිරත්න මහත්මිය මෙහිදී අවධාරණය කළාය. 2024/25  ශිෂ්‍ය පාර්ලිමේන්තු කණ්ඩායම පාසැලේ අවශ්‍යතාවයන් හඳුනාගනිමින් ඉදිරිගාමීව කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන්ද සිය සතුට පළ කළ ඇය එම කණ්ඩායමට නායකත්වය සැපයූ විද්‍යාලයීය සහකාර  විදුහල්පතිනි දුලානි ප්‍රියදර්ශනී මහත්මියටද, ශිෂ්‍ය පාර්ලිමේන්තුව භාර ආචාරිනී අනූෂා ඒ්කකායක  මහත්මියටද සිය ස්තුතිය පළ කළාය.

විශාඛා විද්‍යාලයීය 2025/2026 ශිෂ්‍ය පාර්ලිමේන්තු කණ්ඩායමේ අභිනව අග්‍රාමාත්‍යවරිය, කථානායකවරිය සහ අමාත්‍යවරියන් පිරිස මෙහිදී  පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය අතින් සහතික පත්‍ර ලබාගත් අතර, විදුහල්පතිනි මනෝමි සෙනවිරත්න මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ  සහභාගිත්වයෙන්  සෙසු සභිකයින්ට ලාංඡන පැළඳවීම සිදු කෙරිණි.

විශාඛා විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ ලාංඡන පැළඳවීමේ උත්සවය අවසානයේ 2024/25 ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ කථානායකවරිය වෙතින්  2025/26 කණ්ඩායමේ අග්‍රාමාත්‍යවරිය සංකේතාත්මකව සෙංකෝලය භාරගැනීමද සිදුවිය.