Wednesday, June 18, 2025
Follow Us
“ක්ලීන් ශ්‍රී ලංකා” යටතේ නව ව්‍යාපෘති රැසක් සැලසුම් කෙරේ

“පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” ඇති කිරීමේ අරමුණින් රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස ආරම්භ කෙරුණු “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ 2025 මූල්‍ය වර්ෂයට අදාළව නව ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නංවා ඇත.

අමාත්‍යාංශ සහ ඒවා යටතේ ඇති දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල සහ ආයතන විසින් ක්‍රියාත්මක කෙරෙන එම ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ඒ අනුව විශේෂ අවශ්‍යතා ඇති ප්‍රජාවගේ පරිහරණ පහසුව සඳහාම නිම වූ බස් රථ 10ක් පානදුර, කඩවත සහ අවිස්සාවේල්ල යන නගරවල සිට කොළඹ ජාතික රෝහල දක්වා ධාවනය කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සමඟ එක්ව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බව මෙහිදී සඳහන් කෙරිණි. මෙවැනි වැඩපිළිවෙළක් මෙරට ක්‍රියාත්මක වන්නේ පළමු වරට වීමද විශේෂත්වයකි.

මහනුවර නගරය කේන්ද්‍ර කර ගනිමින් අථත්‍ය නගරයක් (Virtual City) නිර්මාණය කිරීමටද සැලසුම් කර ඇති අතර, මෙය වසරක් තුළ නිම කිරීමට අපේක්ෂා කෙරේ. නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන මෙම වැඩසටහනෙන් දළදා මාළිගා පරිශ්‍රයද ආවරණය කෙරෙන අතර, ඊට වැය කෙරෙන මුදල රුපියල් මිලියන50කි.

දෙස් විදෙස් සංචාරකයින් ඉලක්ක කර ගනිමින් මෙරට සියලු ජන වර්ගවල සංස්කෘතික වටිනාකම් විදහා දැක්වෙන තෙදින සංස්කෘතික ප්‍රසංගයක් කොළඹදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, ගාලු මුවදොර ඇතුළු ස්ථාන16කදී මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

සංචාරක කලාප ආශ්‍රිතව ප්‍රමිතගත හා නවීන පහසුකම් සහිත වැසිකිළි 500ක් ඉදිකිරීමටද සැලසුම් කර තිබෙන අතර මේ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 525කි.

දෙවසරක් තුළ මෙරට ප්‍රධාන වෙරළ කලාප දෙකකට අන්තර්ජාතික පිළිගැනීමක් ඇති නිල් කොඩි (Blue Flag) සහතිකය ලබා ගැනීමට තිරසාර වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කර තිබේ. උණවටුන හා හිරිකටුව වෙරළ තීර ඒ සඳහා යෝජනා කර ඇති අතර මෙම ව්‍යාපෘතිය යටතේ වෙරළ රැකබල ගන්නන් 450කට අධික සංඛ්‍යාවක් පත් කිරීමට නියමිතය.ඒ අතරින් 250කට මේ වන විටත් පත්වීම් ලිපි ලබා දී ඇත.

රුපියල් මිලියන 300ක වියදමින් අපජලය බැහැර කිරීමේ ව්‍යාපෘතියක්ද දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන අතර නගරාශ්‍රිතව ගලා යන ඇළ දොළවල ජලය පිරිසිදුව තබා ගැනීම හා නඩත්තුව එමගින් අපේක්ෂා කෙරේ. කොළඹ නගරයේ සාමාන්‍ය ඇළ මාර්ග පද්ධතිය නඩත්තුව තිරසර ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 100ක වියදමින් වැඩසටහනක් ආරම්භ කර තිබේ.

මහවැලි ගඟේ ජල දූෂණය අවම කිරීම අරමුණු කරගත් ව්‍යාපෘතියක නියමු ව්‍යාපෘතිය මහවැලි ගඟේ ඉහළ ඉස්මත්ත ප්‍රදේශය ආශ්‍රිතව ක්‍රියාත්මක කෙරේ. 

එසේම, රුපියල් මිලියන 500ක වියදමින් පළාත් පාලන ආයතන සඳහා කොම්පෝස්ට් බහාලුම් (Compost Dumpbin) ලබා දීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මකය. ප්‍රථම අදියරේදී රුපියල් මිලියන 150ක බහාලුම් ලබා දීම සිදු කෙරෙන අතර එයද මෙම වසරේදී ක්‍රියාත්මක කෙරේ.

රුපියල් මිලියන 120ක වියදමින් මාර්ග ආරක්ෂාව සඳහා වූ වැඩපිළිවෙළ දැනටමත් ක්‍රියාත්මක වන අතර දෛනිකව සිදු වන රිය අනතුරු ප්‍රමාණය අවම කර ගැනීම එහි අරමුණයි. මත්ද්‍රව්‍ය භාවිතය ඇතුළු අපචාර වැළැක්වීම සඳහා ආදර්ශ ගම්මාන කිහිපයක් දිවයින පුරා ස්ථාපනය කිරීමටද අවධානය යොමු කර ඇත.

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනින් අපේක්ෂිත අරමුණු අමාත්‍යාංශ හා ආයතනික මට්ටමින් සාක්ෂාත් කර ගැනීම උදෙසා මෙම ව්‍යාපෘති සාර්ථකව අවසන් කිරීම පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එම්.ආර්.ඩී. අපොන්සු, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් එස්.පී.සී. සුගීෂ්වර යන මහත්වරුද, අමාත්‍යාංශ නියෝජනය කරමින් ලේකම්වරු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරිහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.