Sunday, June 15, 2025
Follow Us
ලෝක රුධිර පරිත්‍යාගශීලින්ගේ දිනය සැමරේ

ජුනි මස 14 වැනි දිනට යෙදී තිබුණු ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය නිමිත්තෙන් සංවිධානය කළ, ජාතික සැමරුම් උත්සවය ජුනි 14 අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගිත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි

ඊට සමගාමීව රුධිර පරිත්‍යාගශීලීන් ඇගැයීමද මෙහිදී සිදු කෙරිණ.

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය ,

ලෝක සෞඛ්‍ය සංවිධානයේ තේමාව වූයේ "Give Blood, Give Hope, Together we save lives" යන්නයි, මෙරට වාර්ෂික රුධිර අවශ්‍යතාවයෙන් 85% ක් පමණ සැපයෙන ජංගම රුධිර දාන කඳවුරු සංවිධායකයින්ග අසමසම දායකත්වයෙන් සිදු වෙනවා. මේ අවස්ථාවේ ඒකට මම ඔවුන්ට ස්තූති කරන්න කැමතියි.

ජාතික රුධිර පාරවිලයන සේවයට වාර්ෂිකව ලැබෙන රුධිර ඒකක 450,000 න්, 380,000 කට අධික ප්‍රමාණයක්, එනම් 85%ක් පමණ රැස් කරගනු ලබන්නේ මෙම ජංගම කඳවුරුවලින්, මේ සඳහා වසරකට 5,000 කට ආසන්න ජංගම රුධිර දාන කඳවුරු සංඛ්‍යාවක් සංවිධානය වෙනවා.

මෙම උපහාර උළෙල සඳහා රුධිර පරිත්‍යාගශීලීන් 1,500 ක් සහ රුධිර දාන කඳවුරු සංවිධායකයින් 1,000 කට ආසන්න පිරිසක් සහභාගී වෙනවා. කිසිදු ජාති, ආගම්, පළාත් හෝ ප්‍රදේශ භේදයකින් තොරව දිවයිනේ සියලුම ප්‍රදේශ නියෝජනය කරමින්, ව්‍යාපාරික ආයතන, රාජ්‍ය ආයතන, ස්වේච්ඡා සංවිධාන, පාසල්, ආරක්ෂක අංශ සහ තනි පුද්ගලයන්ද ඇතුළු පුළුල් පරාසයක දායකයන් මෙහි දී සම්මාන ලබනවා.

මෙම සංවිධායකයින් කිසිදු පෞද්ගලික ලාභ ප්‍රයෝජනයක් අපේක්ෂා නොකර, ස්වකීය ධනය, ශ්‍රමය සහ කාලය ස්වේච්ඡාවෙන් මේ සඳහා කැප කරන පිරිසක්.

ලංකාවේ පවතින මෙම අද්විතීය රුධිර දාන සංවිධාන ක්‍රමවේදය ලෝකයේ වෙනත් රටවල දක්නට ලැබෙන්නේ නැහැ.

රාජ්‍ය ආයතන සඳහා වසරේ එක් දිනක් රුධිර දානයට වෙන් කිරීමේ වැඩපිළිවෙළ ක්‍රමවත් සැලසුමක් සහිතව ඉදිරියේදී නැවත ක්‍රියාවට නැංවීමට රජය බලාපොරොත්තු වෙනවා.

පාසල් පද්ධතිය තුළද රුධිර දානය පිළිබඳ දැනුම්වත් කිරීමට වැඩි ඉඩකඩක් ලබා දිය යුතුයි. අනාගත රුධිර පරිත්‍යාගශීලීන් බිහි වන්නේ පාසල් පද්ධතියෙන් බැවින් මෙය ඉතා වැදගත්.

 

කොවිඩ් වසංගත තත්ත්වය වැනි අපහසුතා මධ්‍යයේ වුව ද, ඔවුන් තම වගකීම අමතක නොකර තම ජාතික වගකීම ඉටු කළා,

අද වන විට ශ්‍රී ලංකාව 100% ක් ස්වේච්ඡා රුධිර පරිත්‍යාග මගින් රුධිර අවශ්‍යතා සපුරා ගන්නා රටක් බවට පත් වී ඇත්තේ ඔවුන්ගේ විශිෂ්ට මෙහෙවර තුළින් බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙහි දී පැවසුවා ය.

. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා,

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛ අංශ දෙකක් වන රෝග නිවාරණ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව සහ ජාතික රුධිර පාරවිලයන සේවාව ජාත්‍යන්තර වශයෙන් ඇගයීමට ලක්ව තිබෙනවා. 2010 වසරේදී ලෝක සෞඛ්‍ය සම්මේලනය විසින් 2020 වන විට සෑම රටක්ම තම රුධිර අවශ්‍යතා 100%ක් ස්වේච්ඡා රුධිර පරිත්‍යාගවලින් සපුරා ගත යුතු බවට ගත් තීරණය, ශ්‍රී ලංකාව 2014 වන විටත් සපුරා ගෙන අවසන්, මේ වන විටත් ලොව පුරා රටවල් 70ක් පමණක් මෙම තත්ත්වය ළඟා කරගෙන තිබෙනවා.

මෙම විශිෂ්ට ජයග්‍රහණයේ ප්‍රධාන නියමුවන් වන්නේ මෙරට රුධිර පරිත්‍යාගශීලීන් සහ රුධිර කඳවුරු සංවිධායකවරුන් ඔවුන් "සුපිරිසිදු හදවත් ඇති සුවිශේෂී කණ්ඩායමක්"

රුධිර පාරවිලයන සේවාව තවදුරටත් නවීකරණය කරන්න රජයේ අවධානය යොමු වී තිබෙනවා.

ඉදිරියේදී රුධිර ජනක සෛල (stem cells) සහ රුධිර ප්ලාස්මා (blood plasma) පරිත්‍යාග කිරීමට අවකාශ ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරනවා වගේම , NAT testing (Nucleic Acid Amplification Test) වැනි නවීන රසායනාගාර පරීක්ෂණ හඳුන්වාදීමටත්, සියලුම රුධිර බැංකුවල තත්ත්ව පාලන ක්‍රමවේදයන් වැඩිදියුණු කිරීමටත්, ජාත්‍යන්තරව පිළිගත් AABB standard සහ GMP (Good Manufacturing Practices) වැනි ක්‍රමවේදයන් ස්ථාපිත කිරීමෙන් රුධිර පාරවිලයන සේවාව තවදුරටත් නගා සිටුවීමටත් කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ජාතික රුධිර පාරවිලයන සේවාවේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ රුධිර පරිත්‍යාගශීලීන් රැසක් සහභාගී වූහ.