Sunday, May 18, 2025
Follow Us
16 වන ජාතික රණවිරු අනුස්මරණ උත්සවයේ සූදානම

කුරිරු ත්‍රස්තවාදයෙන් රට මුදාගෙන සියලු දෙනාට බියෙන් සැකෙන් තොරව ජීවත් වීමේ නිදහස ලබාදුන් 16 වන ජාතික රණවිරු අනුස්මරණ උත්සවයට හෙට (19) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අසලදී  පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

ජනාධිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මෙම උත්සවයට සහභාගී වීමට නියමිතය. එළඹෙන මැයි 19 වන දින පස්වරු 4.00 සිට 6.00 දක්වා මෙම රණවිරු සැමරුම් උත්සවය පැවැත්වෙන අතර, ඊට සමගාමීව ත්‍රිවිධ හමුදාවේ, පොලිස් දෙපාර්තමේන්තුවේ හා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ දායකත්වයෙන් දිවයින පුරා ප්‍රජා සුභසාධන වැඩසටහන් මාලාවක් ද ක්‍රියාත්මක කරනු ලැබේ. එම අවස්ථාවට කුරිරු ත්‍රස්තවාදය නිමා කිරීමට ත්‍රිවිධ හමුදාවට නායකත්වය ලබා දුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆොස් රොෂාන් ගුණතිලක ද සහභාගී වීමට නියමිතය.

යුද්ධයේදී මියගිය හා රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගෙන් ප්‍රකට වූ දේශප්‍රේමය, ආත්ම පරිත්‍යාගය සහ තම රාජකාරිය සඳහා වූ නොසැලෙන කැපවීම පිලිබඳ මතකයන් ආරක්‍ෂා කිරීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශය ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාවේ ස්ථිර කැපවීම ඔස්සේ එම රණවිරුවන් පිළිබඳව අප රටේ මතු පරපුරට ද පුර්වාදර්ශයක් ලබා දීම සහතික කෙරෙන බව ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා පසුගිදා පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.

මෙම දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාව අතරතුර, රණවිරු සේවා අධිකාරියේ සහ ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් උත්සව කටයුතු පැවැත්වීමට නියමිත ආකාරය පිළිබඳ දළ විග්‍රහයක් ඉදිරිපත් කරන ලද අතර, එහිදී ආරාධිත අමුත්තන්, හමුදා නිලධාරීන් සහ රණවිරු පවුල්වල සාමාජිකයන් ඇතුළු පැමිණ සිටින පිරිසගේ සහභාගීත්වයෙන් පුෂ්පෝපහාර හා ගෞරව දැක්වීම හමුදා සම්ප්‍රදායානුකුලව ගරු බුහුමන් දැක්වීම ද ඇතුළත් වේ. අප දේශයේ ස්වෛරීභාවය සහ ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා පරාර්ථකාමීව සේවය කල රණවිරුවන් සඳහා සමස්ත ජාතියේ කෘතඥතාව සහ ඉමහත් ගෞරවය දැක්වීම සඳහා මෙම සැමරුම් උත්සවය පැවැත්වීම තුළින් අපේක්‍ෂා කෙරේ.

අපගේ මාතෘභූමිය සහ සියලු රටවැසියන් ආරක්‍ෂා කිරීම සඳහා ත්‍රස්තවාදය පරාජය කිරීමට සටන් වැදුණු අභීත රණවිරුවන්ගේ මහඟු සේවය ප්‍රශංසාවට ලක් කරමින්, ජාතියේ රණවිරුවන් සිහිපත් කෙරෙන මෙම උතුම් අවස්ථාවේදී එක්ව නැගී සිටින ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටී.

නාවික හා ගුවන් හමුදාපතිවරුන්, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය නියෝජිතයින් රැසක් මෙම මාධ්‍ය සාකච්ඡාවට අවස්ථාවට එක්ව සිටියහ.