Saturday, March 29, 2025
Follow Us
පොදු ප්‍රවාහනය බිඳවැටීමට ඉඩ දෙන්නේ නෑ- ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය

අත්‍යවශ්‍ය ප්‍රවාහන සේවා බිඳ වැටීමට ඉඩ නොතබන බවත් පොදු ප්‍රවාහන සේවාවට බාධා පමුණුවන පිරිස් සඳහා නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

ගාල්ල - මාතර ප්‍රධාන මාර්ගයේදී බස්රථ රියදුරෙකුට පසුගියදා පහරදීමේ සිද්ධියට සම්බන්ධ සියලු සැකකරුවන් පොලීසිය අත්අඩංගුවට ගෙන ඇතැයි පවසන, ඒ මහතා මෙම අනීතික ක්‍රියාවට සම්බන්ධ සියලු පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ද සඳහන් කළේය.

එසේම පසුගිය 22 වැනිදා ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුර පිළිබඳව ද විමර්ශන සිදුකර ඇති බවත් එම බස්රථ රියදුරන් මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට සමාජ මාධ්‍ය මඟින් ප්‍රචාරය කළ පුවත පිළිබඳව තහවුරු වී නොමැති බවත්, බස් රථවල අධික වේගය අනතුරට ප්‍රධාන හේතුව බවට වාර්තා වී ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ උපරිම මැදිහත්වීමෙන් මාර්ග ආරක්ෂාව සහතික කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගනු ලබන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.