දේශීයව මෙන්ම ගෝලීය වශයෙන් කාන්තාවන්ට සිදුවන බලපෑම්, බාධක සහ ඒ වෙනුවෙන් ඇති පක්ෂග්‍රාහීත්වයන් හදුනාගනිමින් ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා කඩිනමින් තීරණාත්මක පියවරයන් ගත යුතුව ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
ශ්‍රී ලංකා එක්සත් ජාතීන්ගේ සංගමය විසින් සංවිධානය කළ ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවය අමතමින් අද (22) කොළඹ පදනම් ආයතනයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සදහන් කළාය.
විවිධ ක්ෂේත්‍රවල ජයග්‍රහණ සහ සමාජ පිළිගැනීමට ලක් වූ කාන්තාවන් වෙනුවෙන් සම්මාන ප්‍රධානය කිරීමද මෙහිදී සිදු කෙරිණ.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අග්‍රාමාතය ආචාර්ය හරිනි අමරසූරිය-
සමාජ, ආර්ථික තත්ත්වය, අධ්‍යාපන සුදුසුකම්, ආගම, ජනවාර්ගිකත්වය, ආබාධිතභාවය හෝ වෙනත් ඕනෑම අනන්‍යතාවයක් නොසලකා, සියලුම කාන්තාවන් සහ ගැහැණු ළමයින් ආරක්ෂා කළ යුතුයි. ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතුය. ජාතිය හැඩගස්වන ශක්තිමත් කාන්තාවන් සිටි රටක් ලෙස ලංකාව ඉතිහාසගත වී තිබෙනවා. එවැනි බොහෝ දෙනෙක් අද මෙම ප්‍රේක්ෂකාගාරයේ සිටින බව මම දන්නවා.
කාන්තාව දේශපාලනයේ, ව්‍යාපාරවල සහ සමාජ ව්‍යාපාරවල වෙනස්කම්වලට නායකත්වය ලබා දෙමින් පරිවර්තනීය බලපෑමක් සිදුකරනවා. ඒ නිසා අපි රජයක් ලෙස විවිධ ප්‍රතිපත්ති සහ වැඩසටහන් හරහා කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. 2024 කාන්තා බලගැන්වීමේ පනත මගින් නව නීතිමය ආරක්ෂාවන් සහ ස්වාධීන ජාතික කාන්තා කොමිසමක් ස්ථාපිත කිරීමට කටයුතු කළා. එය ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ආයතනිකකරණය කිරීම සඳහා වූ වැදගත් පියවරක්.
ග්‍රාමීය කාන්තාවන් සඳහා ව්‍යවසායකත්වය සහ ඩිජිටල් මූල්‍ය සාක්ෂරතා වැඩසටහන් සහ කාන්තාවන්ගේ සහ මුළු ජාතියේම ආර්ථික නඟා සිටුවීම සඳහා වගකිව යුතු අමාත්‍යාංශ නවයක් වෙන් කරමින් ශ්‍රම බලකාය තුළ කාන්තා සහභාගීත්වය වැඩි කිරීම කෙරෙහි රජයඅවධානය යොමු කර තිබෙනවා. ඊයේ සම්මත වූ අයවැයටත් එවැනි පියවර කිහිපයක් ඇතුළත් කර තිබෙනවා. නායකත්වය, තීරණ ගැනීම සහ ආර්ථිකය තුළ කාන්තා සහභාගීත්වය අසමාන ලෙස අඩු මට්ටමක පවතින්නේ. ආර්ථික අවස්ථා, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා හරහා කාන්තාවන් සහ ගැහැණු ළමයින්ට සහාය වීම සහ බලගැන්වීමේ අවස්ථා හදුනා ගන්නවා වගේම තවමත් කළ යුතු බොහෝ දේ ඇති බව අපි පිළිගත යුතුයි.
අපි පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය දෙගුණයක් කළා. නමුත් තවමත් 10% ක් පමණයි නියෝජනය වෙන්නේ. දේශපාලනයේ වගේම, තීරණ ගැනීමේ අවස්ථා වලත්, නායකත්වයේත් වැඩි කාන්තාවන් සංඛ්‍යාවක් සිටිය යුතුයි. වැටුප් සහිත රැකියාවල කාන්තා ශ්‍රම බලකායේ සහභාගීත්වය පිරිමි පාර්ශවයට සාපේක්ෂව 32% ක් ලෙසයි පවතින්නේ.
ඔබට සියල්ල කළ හැකි බව පවසමින් වැඩ සමතුලිතතාවය කාන්තාවන් සඳහා කළ නොහැකි කාර්යයක් ලෙස සමහරු සදහන් කරනවා. අපට සියල්ල කළ නොහැකියි. අපට අවශ්‍ය වන්නේ අපට කිරීමට අවශ්‍ය දේ කිරීමට සහ කාන්තාවන්ට පිළිගැනීමක් ඇති පවුලක් සහ සමාජයක් නිර්මාණය කිරීමයි. කාන්තාවන්ට වඩාත් සහයෝගය දක්වන පරිසරයක් ඇති කිරීමයි සිදු විය යුතු වෙන්නේ. මේ සඳහා, වැටුප් නොලබන කාන්තාවන්ගේ සත්කාරක කටයුතු හදුනා ගනිමින් අගයකිරීමත් සිදු කළ යුතුයි.
ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ හිංසනය සහ වෙනස්කම් කිරීම සමාජයේ කොතෙකුත් සිදු වෙනවා. මේවා නතර කිරීමට හදිසි නීතිමය සහ සමාජ ප්‍රතිසංස්කරණ අවශ්‍යයි. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය කරා යන ගමන අප තනිවම කරන එකක් නෙමෙයි. එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක, විශේෂයෙන් 5 වන ඉලක්කය වන ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සඳහා කැපවී සිටින ජාතියක් ලෙස, සැබෑ ලෙසම කාන්තා සවිබල ගැන්වීම මෙන්ම ඒ වෙනුවෙන් වන ගෝලීය උත්සාහයන් සමඟ අන්තර් සම්බන්ධතාවය අපි පවත්වා ගත යුතුයි. වේගයෙන් සංවර්ධනය වන ලෝකයක නායකත්වය දීම සඳහා, අපි කාන්තාවන් බලගැන්වීමට පමණක් නොව, සමස්තයක් ලෙස අපගේ ජාතියේ සංවර්ධනයට දායක කර ගත යුතුයි. එහිදී ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංගමය කාන්තා අයිතිවාසිකම් සඳහා ප්‍රබල උපදේශකයෙක්.
දේශීයව මෙන්ම ගෝලීය වශයෙන් කාන්තාවන්ට ඇති බලපෑම්, බාධක සහ ඒ වෙනුවෙන් ඇති පක්ෂග්‍රාහීත්වයන් හදුනාගනිමින් ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා කඩිනම්, තීරණාත්මක පියවර ගතයුතුව ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
මෙම අවස්ථාවට විදේශ කටයුතු,විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, එක්සත් ජාතින්ගේ සංගමයේ මහ ලේකම් එම්. එම්. රුෂාන්හවුදීන්, සහකාර මහලේකම් පන්චලී රත්නායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.