ජාතික ඹෟෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය නිදහස් කිරීමේ සහතික (WOR) විධිමත් කමිටු අනුමතියකින් තොරව වේගවත් යාන්ත්‍රණයක් ඔස්සේ විශේෂ ක්‍රමවේදයකට නිකුත් කර ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය වේ.
- විශේෂ ක්‍රමවේදය (Special pathway) මගින් ප්‍රධාන විධායක නිලධාරියාගේ තනි කැමැත්තට කටයුතු කරන්න අවස්ථාව ලැබී ඇති බව පැහැදිලියි - කෝප් කමිටුව
- ඹෟෂධ මිල සූත්‍රය ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්න - කෝප් කමිටුව
- සුවඳ විලවුන් සහ ක්‍රීම් වර්ග නියාමනය කිරීමට කිසිඳු ආයතනයකට නීතිමය බලතල නෑ - කෝප් කමිටුවේදී අනාවරණය වෙයි
- අධිකාරියේ මුදල් සංචිත යොදාගෙන හෝ ඹෟෂධ ගෙන්වූ පසු පරීක්ෂා කිරීමට විද්‍යාගාරයක් සකස්කරන්න - කෝප් කමිටුවෙන් උපදෙස්
- පනතේ පවතින දුර්වලතා මගහරවාගැනීමට ඉක්මනින් කටයුතු කරන්න - කෝප් කමිටුවෙන් උපදෙස්
- ජාතික ඹෟෂධ නියාමන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය කෝප් කමිටුවට ගෙන්වීමට තීරණය කරයි
- ජාතික ඹෟෂධ නියාමන අධිකාරිය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට කෝප් අනු කමිටුවක්
ජාතික ඹෟෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය නිදහස් කිරීමේ සහතික (WOR) විධිමත් කමිටු අනුමතියකින් තොරව වේගවත් යාන්ත්‍රණයක් ඔස්සේ විශේෂ ක්‍රමවේදයකට නිකුත් කර ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය විය.
මේ පිලිබඳ අනාවරණය වූයේ ජාතික ඹෟෂධ නියාමන අධිකාරියේ 2022, 2023 සහ 2024 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (12) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
මෙහිදී හදිසි ඹෟෂධ මිලදීගැනීම සම්බන්ධයෙන් ජාතික ඹෟෂධ නියාමන අධිකාරියේ මැදිහත්වීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. මේ අනුව ලියාපදිංචිය නිදහස් කිරීමේ සහතික (WOR) විධිමත් කමිටු අනුමතියකට යටත් කිරීමේ ක්‍රමවේදයෙන් බැහැරව වේගවත් යාන්ත්‍රණයක් (Fast Track) ඔස්සේ විශේෂ ක්‍රමවේදයකට (Special pathway) නිකුත් කර ඇති බවත් මේ මගින් ප්‍රධාන විධායක නිලධාරියාගේ තනි කැමැත්තට ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ ලිපි නිකුත් කිරීමේ ක්‍රමවේදයක් අනුගමනය ඇති බවත් කෝප් කමිටුව පෙන්වා දෙන ලදි. විශේෂයෙන්ම 2022 වර්ෂයේ සිටි ප්‍රධාන විධායක නිලධාරියා මෙම ක්‍රමවේදය වෙනුවෙන් මැදිහත්වී ඇත් බව මෙහිදී අනාවරණය වූ අතර එම කාල සීමාව තුළ කොළඔ පිහිටි ප්‍රධාන හෝටලයක පැවත්වූ රාත්‍රී භෝජන සංග්‍රහයකදී ඖෂධ වර්ග විශාල ප්‍රමාණයක් සඳහා අනුමතිය ලබාගැනීමට සැලසුම්කොට තිබූ බවත් මෙහිදී අනාවරණය විය. නමුත් මේ සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කළ වෛද්‍යවරුන්ගේ විරෝධය පළ වී ඇති බවත් එබැවින් මේ සම්බන්ධයෙන් තවමත් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කටයුත්තක් පවතින බවත් මෙහිදී අනාවරණය විය. මේ පිළිබඳ දීර්ඝව සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඉදිරියේදී අදාළ කාලසීමාවේ ජාතික ඹෟෂධ නියාමනය අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය කෝප් කමිටුවට ගෙන්වීමට තීරණය කෙරුණි.
එසේම සුවඳ විලවුන් සහ ක්‍රීම් වර්ග භාවිතය නිසා ඇතිවන රෝගී තත්ත්වයන් පවතින බැවින් සුවඳ විලවුන් සහ ක්‍රීම් වර්ග නියාමනය කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු විය යුතු බව කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු පෙන්වා දුන්හ. නමුත් කිසිඳු ආයතනයකට මේ සම්බන්ධයෙන් නියාමනය කිරීමේ නීතිමය බලතල නොමැති බව කමිටුවේදී අනාවරණය වූ අතර මේ සම්බන්ධයෙන් අවශ්‍ය නියාමන නීතිමය ප්‍රතිපාදන සකස්කොට තම ආයතනයට බලතල දෙන ලෙස නිලධාරීන් පෙන්වා දුන්නේය. මේ අනුව අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස කෝප් කමිටුව අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.
තවද ඖෂධ මිල සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වූ අතර මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ මිල නියාමන අංශයක් 2022 වර්ෂය දක්වා නොපැවති බවත් 2022 වර්ෂයේදී එම අංශය ස්ථාපිත කිරීමෙන් පසුව කලාපීය වශයෙන් ඖෂධ මිල සංසන්දනය කරන බවයි. මෙහිදී කාරක සභාව පෙන්වා දුන්නේ ඖෂධ මිල සූත්‍රය සම්බන්ධයෙන් පවතින බාධාවන් ඉවත් කර හැකි ඉක්මනින් එය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙසයි.
ඖෂධ ගෙන්වීමෙන් පසු ගෙන්වූ ඖෂධ පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් පැමිණි නිලධාරීන්ගෙන් කාරක සභාව විමසූ අතර මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ මෙම පරීක්ෂාකිරීම් සඳහා විද්‍යාගාර පහසුකම් සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවයි. මෙහිදී අධිකාරිය සතුව පවතින මුදල් සංචිත ප්‍රමාණය කෝප් කමිටුව විමසූ අතර රුපියල් බිලියන 7ක සංචිත පවතින බව නිලධාරීහු පැවසූහ. එබැවින් අධිකාරියේ මුදල් සංචිත යොදාගෙන හෝ ඹෟෂධ ගෙන්වූ පසු පරීක්ෂා කිරීමට විද්‍යාගාරයක් සකස්කරන ලෙස කෝප් කමිටුව උපදෙස් ලබා දෙන ලදි.
එසේම කාර්යක්ෂමව කටයුතු කිරීමට අවශ්‍ය ඉඩ ප්‍රස්ථාව සකස්කරගැනීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරී පනතේ පවතින දුර්වලතා මගහරවාගැනීමට ඉක්මනින් කටයුතු කරන ලෙසත් කෝප් කමිටුව උපදෙස් ලබාදෙන ලදි.
මීට අමතරව ජාතික ඹෟෂධ නියාමන අධිකාරිය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට කෝප් අනු කමිටුවක් පත්කිරීමට කටයුතු කරන බවද මෙහිදී කෝප් කමිටුවේ සභාපතිවරයා පැවසූ අතර ඉදිරියේදී එම අනු කමිටුවේ සාමාජිකයින් නම්කර දැනුම්දෙන බව පැවසීය.
මෙම කාරක සභා රැස්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.කේ.එම්. අස්ලම්, සමන්මලී ගුණසිංහ, කෝසල නුවන් ජයවීර, රුවන් මාපලගම, සුනිල් රාජපක්‍ෂ, ධර්මප්‍රිය විජේසිංහ, අසිත නිරෝෂණ එගොඩ විතාන, තිළිණ සමරකෝන් සහ චන්දිම හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.