Tuesday, March 04, 2025
Follow Us
කුඨ ලේඛන පෙන්වා භුමියේ අයිතිය ගැනීමට කළ උත්සාහය සාර්ථක උනේ නෑ, ජිවිත තර්ජන පවා ආවා - කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික කොමසාරිස්වරිය පැහැදිලි කරයි.
1994 සිට කොළඹ මහ නගර සභාවට භුක්තිය හිමි, බොරැල්ල සුසාන භූමියේ නිල නිවාසය හා ඉඩම අවභාවිත කරමින් කොළඹ මහ නගර සභාවේම සේවකයෙක් මල් ශාලාවක් ආරම්භ කරලා - කෝපා කමිටුවේදී අනාවරණය වෙයි.

 අනීතිකව පවත්වාගෙන යන මල් ශාලාව තහනම් කිරීමට කාරක සභාවෙන් උපදෙස්.

 
කුඨ ලේඛන පෙන්වා භුමියේ අයිතිය ගැනීමට කළ උත්සාහය සාර්ථක උනේ නෑ, ජිවිත තර්ජන පවා ආවා - කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික කොමසාරිස්වරිය පැහැදිළි කරයි.
 
  පාරිසරික වාර්තාවක් පවා නොමැතිව මල් ශාලාවක් පවත්වාගෙන ගියේ කොහොමද ? - කෝපා කමිටු සභාපතිවරයා නිලධාරීන්ගෙන් ප්රශ්න කරයි…
 
කොළඹ මහ නගර සභාවේ මන්ත්රීවරයන්ට වාහන නැවැත්වීම සදහා වෙන්කළ භූමි ප්රමාණයන් වෙනත් පාර්ශ්වයන්ට අළෙවි කරලා - කෝපා කමිටුවේදී හෙළිවෙයි
1994 සිට කොළඹ මහ නගර සභාවේ භුක්තිය හිමි, බොරැල්ල සුසාන භූමියේ නිල නිවාසය හා ඉඩම අවභාවිත කරමින් කොළඹ මහ නගර සභාවේම සේවකයෙක් මල් ශාලාවක් ආරම්භ කර පවත්වාගෙන යන බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (COPA) අනාවරණය විය.
 
මෙම කරුණු අනාවරණය වූයේ  පාර්ලිමේන්තු මන්ත්රී අරවින්ද සෙනරත් මහතාගේ සභාපතිත්වයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) පසුගිය 25 සහ 27 යන දිනයන්හිදී පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. මෙම දිනයන්හිදී 2022,හා 2023 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරික්ෂා කිරීම සඳහා කොළඹ මහ නගර සභාවේ නිලධාරීහු කාරක සභාවට කැඳවා තිබුනහ.
 
මෙහිදී පළමු දින කරුණු දක්වමින් විගණකාධිපතිවරයා බොරැල්ල සුසාන භූමියේ අනවසර ගොඩනැගිල්ලේ නිත්යානුකූල නොවන ආකාරයෙන් ව්යාපාරයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාව කිසිදු ක්රියාමාර්ගයක් ගෙන නොමැති බව පැවසීය. 2023.07.06 වැනි දිනට පෙර ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය හා එම ගොඩනැගිල්ල නැවත කොළඹ මහ නගර සභාව වෙත ලබා ගැනීම පිළිබඳ නියෝග ඇතුළත් වාර්තාවක් කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලෙසට කාරක සභාව විසින් මීට පෙර ලබාදුන් නිර්දේශයට අනුව කොළඹ මහ නගර සභාව විසින් වාර්තාවක් ඉදිරිපත් කර තිබුනත් ගොඩනැගිල්ල නැවත මහ නගර සභාව වෙත ලබාගැනීමේ කිසිදු ප්රගතියක් පෙන්වා නොතිබුණි.
 
ඒ අනුව එහිදී අදහස් දක්වමින් නිලධාරීහු මහ නගර සභාවේ සේවයේ නියුතු සේවකයෙකු බොරැල්ල සුසාන භූමියේ නිල නිවාසය හා ඉඩම අවභාවිත කරමින්, සිදුකරමින් යන ව්යාපාරය පිළිබද කරුණු, කාරක සභාවට ඉදිරිපත් කළහ. එම සේවකයා මීට පෙර වැඩ තහනමකට ලක්ව සිට නැවතත් සේවයේ පිහිටවූ පුද්ගලයෙක් බව එම නිලධාරීහු වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසූහ. මෙහිදී සභාපතිවරයා විසින් එම මල් ශාලාව කොළඹ නගරයේ මල් ශාලාවක් ලෙස ලියාපදිංචි කර තිබේද යන්න නිලධාරීන්ගෙන් විමසා සිටියේය. එහිදී නිලධාරීන් විසින් ප්රකාශ කළේ මල් ශාලාවක් සඳහා අවශ්යවන බලපත්ර නොගෙන අනීතිකව පවත්වාගෙන යන මෙම මල් ශාලාව, සමාගම් රෙජිස්ට්රාර් යටතේ සමාගමක් ලෙස ලියාපදිංචි කර ඇති බවයි. එහිදී අදහස් දැක්වූ සභාපතිවරයා පාරිසරික වාර්තාවක් හෝ නොමැතිව මල් ශාලාවක් පවත්වාගෙන යන්නේ කෙසේ ද යන්න විමසීය. එහිදී කරුණු දැක්වූ නිලධාරීහු එසේ සිදුකිරීමට හැකියාවක් නොමැති බව කාරක සභාවට දැන්වූහ. ඒ අනුව අනීතිකව පවත්වාගෙන මෙම මල් ශාලාව වහාම තහනම් කිරීමට කටයුතු කරන ලෙස කාරක සභාව විසින් නියෝග කරන ලදී.
 
මෙහිදී කාරක සභාව හමුවේ පෙනී සිටි එවකට කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරිය එම මල් ශාලාව අනීතිකව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ඇය සතු තොරතුරු කාරක සභාවට ඉදිරිපත් කළේය. එහිදී මෙම මල් ශාලාව 1994 සිට පවත්වාගෙන යන බව අනාවරණය විය. කුඨ ලේඛන පෙන්වා අදාළ මල් ශාලාවේ හා එම භූමියේ අයිතිය ලබා ගැනීමට එම සේවකයා උත්සාහ කළද එය සාර්ථක නොවූ බවත් මේ පිළිබඳව දිගින් දිගටම තමන් කටයුතු කිරීම නිසා ජිවිත තර්ජන වලට පවා නතුවීමට සිදුවූ බවත් ඇය කාරක සභාව හමුවේ කරුණු දක්වමින් පැවසුවාය.
 
මෙම නීති විරෝධී ක්රියාවලිය ප්රසිද්ධියේ සිදුවන ක්රියාවලියක් බව පෙන්වා දුන් හිටපු නාගරික කොමසාරිස්වරිය 1994 සිට 2020 දක්වා කාලය තුළ මෙම ගොඩනැගිල්ල සහ භූමිය අවභාවිතා කිරීම වෙනුවෙන් මිලියන 41ක් අලාභයක් කොළඹ මහ නගර සභාවට සිදුව ඇති බව පෙන්වා දුන්නාය. එමෙන්ම රාජ්ය සේවකයෙකුට ව්යාපාර කිරීම නීති විරෝධී බැවින් වංචා සහගතව අදාළ ව්යාපාරයේ නම විටින් විට වෙනස් කරමින් ද ව්යාපාර කටයුතු කරන බවද ඇය වැඩි දුරටත් කරුණු දක්වමින් පැවසුවාය. තවද මෙම මල් ශාලාව පවත්වාගෙන යන කොළඹ මහ නගර සභාවේ සේවකයාට කොවිඩ් වසංගත සමයේ දේහයක් භූමදානය කිරීම සඳහා ලක්ෂ 6ක් අල්ලස් වශයෙන් ඉල්ලා සිටීම සම්බන්ධව සහ බොරැල්ල පොදු සුසාන භූමියේ නිකුත් කරන රිසිට්පත්, වංචා සහගතව නිකුත් කිරීම සම්බන්ධව චෝදනාවට ලක්ව සිටි පුද්ගලයෙක් බවද කාරක සභාවේදී අනාවරණය විය.
 
දීර්ඝ කාලයක් තිස්සේ සිදුකරන මෙම වංචනික ක්රියාවලිය තනි පුද්ගලයෙක්ට සිදුකිරීමට නොහැකි බවත් එම ක්රියාවලිය පිටුපස තවත් නිලධාරීන් රැසක් සිටින බවත් කාරක සභාවේ සාමාජික ගරු මන්ත්රීවරයන් පැවැසුහ. එම නිසා පොදු දේපළ පනත යටතේ මෙම පුද්ගලයාට එරෙහිව කටයුතු කළයුතු බව කාරක සභාව යෝජනා කරන ලදී .ඒ අනුව මෙම පුද්ගලයා විසින් රාජ්ය දේපල අනිසි ලෙස භාවිත කරමින් සිදුකරන මෙම ව්යාපාරය පිළිබඳව විමර්ශනයක් සිදුකර වාර්තාවක් සති දෙකක් තුළ කාරක සභාවට යොමු කරන ලෙස සභාපතිවරයා විසින් බස්නාහිර පළාත් ප්රධන ලේකම්වරියට උපදෙස් ලබා දුන්නේය. මෙහිදී අනීතිකව පවත්වාගෙන යන මෙම මල් ශාලාව පිළිබඳව සිදු කළ හෙළිදරවු පිළිබඳව කාරක සභාවේ ප්රශංසාව හිටපු නාගරික කොමසාරිස්වරිය වෙත පිරිනමන ලදී.ඒ ප්රශංසාව ඇගේ පෞද්ගලික ලිපි ගොනුව සඳහා යොමු කිරීමට අවශ්ය කටයුතු කිරීමට කාරක සභා සභාපතිවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.
 
මේ අතර කොළඹ මහ නගර සභාවේ රථවාහන ගාල් කුලී අදායම් පිළිබඳව කාරක සභාවේ අවධානය යොමුවිය. 2024 වන විට රථවාහන ගාල් කොන්ත්රාත්කරුවන්ගෙන් ලැබිය යුතු හිඟ මුදල රුපියල් මිලියන 580ක් බව කාරක සභාවේදී අනාවරණය විය. ඒ අනුව 2025 වසරේදී රථවාහන ගාල් කොන්ත්රාත්කරුවන් තෝරාගැනීමේදී, හිඟ මුදල් ගෙවිය යුතු කොන්ත්රාත්කරුවන් ටෙන්ඩර් සඳහා තෝරා නොගැනීමට ක්රියා කර තිබෙන බව නිලධාරීහු කාරක සභාවට දැන්වුහ. එම හිඟ මුදල් අයකර ගැනීම් මේ වන විටත් ආරම්හ කර ඇති බව එම නිලධාරීන් වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසූහ. මේ අතර කොළඹ මහ නගර සභාවේ මන්ත්රීවරයන්ට වාහන නැවැත්වීම සදහා වෙන්කළ භූමි ප්රමාණයන් වෙනත් පාර්ශ්වයන්ට අළෙවි කර ඇති බව විගණන වාර්තාවකින් හෙළි ඇති බව කාරක සභාවට අනාවරණය විය. මෙහිදී කොළඹ මහ නගර සභාවේ මන්ත්රීවරයන්ට සම්ප්රදායිකව තමන්ගේ කාර්යාලය ආසන්නයේ වාහන නැවැත්වීම සදහා ඉඩක් වෙන්කරන බව නිලධාරීහු පැවසුහ. ඒ අනුව මෙලෙස තමන්ට ලබාදුන් භුමි ප්රමාණයන් වෙනත් පාර්ශ්වයන්ට අළෙවි කර ඇති පිරිසෙන් අධිභාර කරගැනීමේ හැකියාව සොයා බලන ලෙස කාරක සභා සභාපතිවරයා උපදෙස් ලබා දුන්නේය.
 
තවද කොළඹ මහ නගර සභාවේ ක්රියාත්මක වූ smart street lighting ව්යාපෘතිය පිළිබඳවද කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.එහිදී කොළඹ මහ නගර සභාවේ මුදල් වැය නොවන වියදම් රහිත ව්යාපෘතියක් ලෙස ආරම්භයේදී මෙය හැඳින්වුවද මෙමගින් කොළඹ මහ නගර සභාවට රුපියල් බිලියන 2.45 ක පාඩුවක් සිදුව ඇති බව හිටපු කොමසාරිස්වරිය කාරක සභාවට දැන්වූවාය. ව්යාපෘතිය මෙහෙයවූ අදාළ සමාගමේ ඇතැම් කොන්දේසි සඳහා තමන් එකඟ නොවීම හේතුවන් එම සමාගමේ නිලධාරියෙකු තමන්ට තර්ජන සිදු කරමින් ජාතික ආරක්ෂාවට තර්ජන එල්ලවන ආකාරයේ ප්රකාශ නිකුත් කළ බවද ඇය කාරක සභාව හමුවේ කරුණු දක්වමින් පැවසුවාය.වැඩි දුරටත් අදහස් දැක්වූ ඇය කොළඹ නගරයේ ආරක්ෂිත කලාපයක වීථි ලාම්පු වල පාලනය එම කාල සිමාවේ එම සමාගම පාලනයේ තිබු බවත් එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් බැවින් අදාළ වගකිව යුතු අංශ දැනුවත් කිරීමට පියවර ගත් බවද පැවසුවාය.මෙහිදී අදහස් දැක්වූ කාරක සභා සභාපතිවරයා මෙම කාරණය බරපතල බවත් ඒ හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID ) වහාම පැමිණිල්ලක් ගොනු කරන ලෙසටත් උපදෙස් ලබාදුන්නේය.
 
මේ අතර කොළඹ මහ නගර සභාවට අයවිය යුතු හිඟ වරිපනම් ආදායම් ගණන කෝටි 500කට අධික බව විගණකාධිපතිවරයා පෙන්වා දුන්නේය. කොළඹ මහ නගර සභාවේ ආදායම් වල වාර්ෂික වර්ධනයක් තිබුණද මෙලෙස හිඟ අදායම් එකතු කරගැනීමේ නිසි වැඩ පිළිවෙලක් නොමැතිවීම හේතුවෙන් අය විය යුතු හිඟ මුදල වසරින් වසර වර්ධනය වෙමින් පවතින බව විගණකාධිපතිවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් පෙන්වා දුන්නේය.
 
මෙහිදී අදහස් දක්වමින් කොළඹ මහා නරග සභාවේ නිලධාරීහු මෙම හිඟය වසර ගණන සිට එකතුවෙමින් පවතින බවත් එම තත්ත්වය නිරාකරණය කිරීමට මුලිකවම වරිපනම් ගෙවීමට පවතින දේපොළ නිසියාකාරව හඳුනාගත යුතුව පවතින බවත් පැවසූහ. ඒම දේපළ හඳුනාගැනීම සඳහා සමීක්ෂණයක් සිදුකිරීමටත් ඒ ඔස්සේ හිඟ මුදල් ගෙවීමට සිටින පිරිස් හා එම මුදල් ප්රමාණය ගැන පැහැදිලි තොරතුරු ලබාගත හැකිවන බවත් එම නිලධාරීහු වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසූහ.
 
මෙහිදී කරුණු දැක්වූ කාරක සභා සාමාජික  මන්ත්රීවරයන් මෙම හිඟ මුදල් ලබාගැනීම සඳහා නිසි කාල රාමු ඇතුළත් වාර්තාවක් සකස් කිරීමේ වැදගත්කම අවධාරණය කළහ. ඒ අනුව මේ වන විට හඳුනාගත් දේපොළ පවතින කොළඹ කොටුව ප්රදේශය තුළ එම හිඟ මුදල් මාසයක් තුළ අයකර ගැනීම සඳහා වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට කාරක සභාව උපදෙස් ලබා දුන්හ. එමෙන්ම කොළඹ අනෙකුත් ප්රදේශවල දේපළ හඳුනාගනිමින් එම හිඟ මුදල් කඩිනමින් අය කර ගැනීම සඳහා කාල වකවානු ඇතුළත් සැලැස්මක් සහිත වාර්තාවක් සතියක් තුළ සකස් කර කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස කාරක සභා සභාපතිවරයා උපදෙස් ලබා දුන්නේය.
 
මේ අතර මහ නගර සභාව සතුව නිරවුල් නොවී පවතින ඉඩම් නිරවුල් කරගැනීමේ ක්රියාවලියේ ප්රගතිය පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමුවිය. එහිදී මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සහ බාහිර පාර්ශ්වයන්ගේ දායකත්වයෙන් මේ වසර අවසානයට පෙර කොළඹ මහ නගර සභාව සතුව පතින සියලු ඉඩම් වල නිරවුල් භාවය සහතික කළ හැකි බව නිලධාරීහු පැවසුහ.
 
මෙම රැස්වීම් සඳහා කාරක සභා සාමාජික  නියෝජ්ය අමාත්යවරුන් වන නලින් හේවගේ, ඇන්ටන් ජයකොඩි, සුගත් තිලකරත්න, කාරක සභා සාමාජික මන්ත්රීවරයන් වන රුවන්තිලක ජයකොඩි, චන්දන සූරියආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, ඔෂානි උමංගා, සුසන්ත කුමාර නවරත්න, (වෛද්ය) ජනක සේනාරත්න, දිනිඳු සමන්, ලාල් ප්රේමනාත් යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්ය නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.