Wednesday, February 05, 2025
Follow Us
ග්‍රාමීය රෝහල් සංවර්ධනයට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ වැඩපිළිවෙළක්

මෙරට රජයේ ප්‍රධාන රෝහල් වල බාහිර රෝගී අංශ වල සහ සායන වල පවතින රෝගී තදබදය අඩු කිරීමට නම්, ග්‍රාමීය රෝහල් වලට අවශ්‍යය මානව හා භෞතික පහසුකම් ලබා දී එම රෝහල් ශක්තිමත් ලෙස සංවර්ධනය කළ යුතු සේම, මෙරට ක්‍රියාත්මක ප්‍රාථමික සෞඛ්‍ය සේවාවට ද අවශ්‍ය පහසුකම් ලබා දී එම සේවාව තවතවත් විධිමත් ලෙස පවත්වාගෙන යාමට කළයුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අවධාරණය කරයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව අවධාරණය කළේ පසුගියදා උතුරු මැද පළාතේ පොලොන්නරුව සහ අනුරාධපුර දිස්ත්‍රික්කයන්හි රෝහල් කිහිපයක සහ එම දිස්ත්‍රික්ක දෙකට අදාළ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල වල පැවති ප්‍රගති සමාලෝචන රැස්වීම් වලින් අනතුරුව අදහස් දක්වමින් ය.


සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සංකල්පයක් මත සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙරට රජයේ රෝහල් පද්ධතිය වඩාත් විධිමත්ව හා ඉහළ පහසුකම් වලින් සමන්විත රෝගී සත්කාර සේවා සමගින් පවත්වා ගෙන යාම මුලික අරමුණ කරගෙන දිස්ත්‍රික් මට්ටමින් එම රෝහල් වල පවතින අඩුපාඩු සොයා බලා එ්වාට කඩිනම් විසදුම් ලබා දෙමින් ග්‍රාමීය ජනතාවට ගුණාත්මක, විධිමත් සුව සත්කාර සේවාවක් ලබා දීමට ආරම්භ කර ඇති විශේෂ වැඩපිළිවෙළට සමගාමීව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රමුඛ අමාත්‍යංශ නිලධාරීන් මෙම විශේෂ නිරීක්ෂණ චාරිකාව සිදු කෙරිණි.


මෙම චාරිකාවේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වැලිකන්ද මූළික රෝහල, පොලොන්නරුව මහ රෝහල සහ චීන ශ්‍රීලංකා මිත්‍රත්ව වෘක්කවේද රෝහල, අනුරාධපුර ශික්ෂණ රෝහල යන රෝහල් වල පවතින මානව හා භෞතික සම්පත් වල අඩුපාඩු සොයා බලා විසදුම් ලබා දිය හැකි ගැටලු වලට විසදුම් ලබා දීමටද පියවර ගත්තේය.


එමෙන් ම දිස්ත්‍රික්ක දෙකට අඳාළ ප්‍රගති සමාලෝචන රැස්වීම්වලදී ජනතාවට බලපාන බෝවන රෝග පාලනය, බෝ නොවන රෝග පාලනය, දරුවන්ගේ සහ මව්වරුන්ගේ වත්මන් පෝෂණ තත්ත්වය සහ ඉදිරි පෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, රෝහල් වල වත්මන් ඖෂධ තත්ත්වය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වලට ත්‍රීපෝෂ ලැබීම, ක්ෂේත්‍ර නිලධාරීන්ගේ ප්‍රවාහන ගැටලු සහ සිය රාජකාරිය සිදුකිරීමේ දී කාර්ය මණ්ඩලයට පවතින ප්‍රායෝගික ගැටලු පිළිබදවද දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, රෝහල් අධ්‍යක්ෂවරුන් , වෛද්‍ය අධිකාරීවරුන්, විශේෂඥ වෛද්‍යවරුන් , වෛද්‍යවරුන් සමග දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලද අතර සමහර ගැටලු වලට එම අවස්ථාවේදීම විසදුම් ලබා දීමට ඒ මහතා පියවර ගත් අතර එම අවස්ථාවේදී විසදුම් ලබා දිය නොහැකි ගැටලු වලට අමාත්‍යවරයා ද දැනුවත් කර කඩිනම් විසදුම් ලබා දෙන බවද පැවසී ය.