නීති විරෝධී ලෙස උපයාගත් ආදායම්වලින් රත්මලාන ප්රදේශයේ ඉඩමක් සහ නිවෙසක් මිලදී ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ අද (27) අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්රාත් පවිත්රා සංජීවනී පතිරාජ මහත්මිය පෙරේදා (25) නියෝග කළාය.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ප්රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකරු පෙරේදා (25) බෙලිඅත්ත ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් විණි. මෙම සැකකරු අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බෙලිඅත්ත ප්රදේශයේ සිට කොළඹට රැගෙන විත් සිද්ධියට අදාළව පැය 4ක පමණ කාලයක් ප්රකාශ සටහන් කර ගැනීමෙන් පසු මහේස්ත්රාත්වරියගේ නිල නිවෙස වෙත පෙරේදා (25) සවස ඉදිරිපත් කර තිබිණි. මෙම සිද්ධියට අදාළව නීතිපතිවරයාගේ උපදෙස් මත මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහේස්ත්රාත්වරියට සිය බී වාර්තාව මඟින් කරුණු වාර්තා කර ඇත. මෙම සැකකරු ඔහුගේ මිත්තණියට අයත් දෙහිවල ප්රදේශයේ පිහිටි ඉඩමක රුපියල් ලක්ෂ 500කට අධික මුදලක් වියදම් කර නිවෙසක් ඉදිකිරීම සම්බන්ධයෙන් 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනු කර තිබූ සිද්ධියකට අදාළව මෙම නඩුව අධිකරණය හමුවේ කැඳවිණි.
මෙම නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සඳහන් කළේ මෙම සිද්ධියට සම්බන්ධ සැකකාරියක් මෙයට වසර ගණනාවකට පෙර නොතීසි මත අධිකරණයට කැඳවා ඇප මත මුදා හැර තිබෙන බවය. ඒ හේතුවෙන් තම සේවාදායකයාට ඕනෑම කොන්දේසියක් මත ඇප ලබා දෙන ලෙසට ද නිතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ. මෙහිදී සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරුන් දැක්වූ කරුණුවලට විරෝධය දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවත් සැකකාර යෝෂිත රාජපක්ෂට චෝදනා ගොනු කිරීමට තරම් ප්රමාණවත් සාක්ෂි ලැබී ඇති බවට නීතිපතිවරයා පෙන්වාදී ඇති බවත්ය. ඒ හේතුවෙන් සැකකරුට ඇප ලබාදීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
දෙපාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සිද්ධිය සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරමින් සැකකරු අද (27) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය.
-Dinamina